ගිලුණු නැව සමුද්‍රම් කියලා සින්දුවක් තියෙනවා. මේ සින්දුව කියන්නේ එක්තරා ප්‍රධාන නාලිකාවකට සම්බන්ධ වෙලා ඉන්න දක්ෂ හඬකැවීමේ ශිල්පියෙක් වගේම හඬකැවීමේ ආයතනයක ප්‍රධානියෙක් වෙච්ච අනුරාධ සිගේරා. අනුරාධ සිගේරාව මම අඳුනන්නේ බොහොම කාලයක් තිස්සේ. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක්. ඒ වගේම දක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. ඔහු නිවේදකයෙක්.(Sri Lanka Latest News)
මේ සියල්ලටම වඩා මම හරි ප්‍රියයි අනුරාධගේ සින්දුවලට. ඒකට හේතුව ඒවා ඇතුළේ තියෙන්නේ ව්‍යංගාර්ථ, ධ්වනිතාර්ථ, ගම්‍යාර්ථත් එක්ක මතුවෙන අපූරු හාස්‍යයක්. ඔහු මේ සින්දුවෙන් හිනාවෙන්නේ සාමාන්‍ය සමාජයට. මේ සින්දුව ඔබ අහන්න. ඔබ මේ සින්දුව අහලා නැත්නම් මම ඒ සින්දුව මුල ඉඳන් ඔබට කිව යුතු නිසා මම ඒක කියන්න යන්නේ නෑ.
මේ සින්දුවේ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට ටක් ගාලා දේවල් අමතක කරන්න තව මොකක් හරි ගුණ්ඩුවක් දැම්මම ඇති කියලා. මේ ගුණ්ඩුව සහ ව්‍යාපෘතිය මේ වතාවෙත් එහෙම එකක්ද කියලා හිතෙනවා. නමුත් මේ කතාව මේ තරම් සරල සාමාන්‍ය එකක් විදියට නොදැන අපි හරියට කියවාගත යුතුයි.
ඔබට හුරු ඇති ඩයස්පෝරාව කියන වචනය. මේ ඩයස්පෝරාව කියන වචනයත් එක්ක අපේ ඔළුවට එන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් කරන එක්තරා කණ්ඩායමක් කියලා. ද්‍රවිඩ සහෝදරවරුන්ට උදව් කරන ඩයස්පෝරාවක් තියෙන බව ඇත්ත. ඒ ඩයස්පෝරාව බැලූ බැල්මටම නරකයි කියන එකත් අපේ හිතලුවක්. මේ හිතලුව නිෂ්පාදනය කරලා දුන්නේ අපට අපේ රටේ දේශපාලකයෝ. ඒ නිසා තවදුරටත් ඔබ මේ ඩයස්පෝරා කියන වචනය අහපු ගමන් ඒක භයානක දෙයක්, ඒක නරක දෙයක් කියලා හිතන්න එපා.
දැන් මම ඔබට කියන්න යන්නේ ඩයස්පෝරා කියන වචනය හා සම්බන්ධ තවත් කතාවක්. ලෝකෙ තියෙනවා සිංහල ඩයස්පෝරාවක්. මේ ඩයස්පෝරාව කියලා කියන්නේ මේ රටෙන් වෙනත් රටකට පිටත් වෙලා ගිහින්, ඒ රටේ යම් යම් තනතුරු තාන්නමාන්න දරමින්, මුදල් ටිකක් උපයමින් ඉන්න මිනිස්සුන්ට.
මේ ගොල්ලෝ වෙලාවකට ලංකාවට එනවා, උදව් කරනවා, විවිධ දේවලට මැදිහත් වෙනවා, ඒ ඒ රටවල ජාතික අනන්‍යතාව සහිත වැඩසටහන් නිර්මාණය කරනවා, මේ වගේ සියල්ලම සිද්ධ කරනවා. ඔවුන් 100%ක් නරකයි කියලා අයින් කරලා තියන්න බෑ. ඔවුන් අතර හොඳ දේවලුත් තියෙනවා. මේ කතාව මම ඔබට කියන්න හේතු වුණේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ තමයි ‘මුනින්ද්‍රයාණෙනි’ කියන ගීතය.
ඇහුව ගමන් අපට හිනා යනවා. ඒක විහිලුවක් බව දැනෙනවා. හැබැයි මතක තියාගන්න ‘මුනින්ද්‍රයාණෙනි’ ගීතය විහිළුවක් නෙවෙයි. අපි මේ ලිපිය ලියන්නේ විහිළුවක් ගැන කතා කරන්න නෙවෙයි. මේ ලිපියේ කිසිම තැනක මේක විහිළුවක් විදියට අපි දකින්නේ නෑ. මේක විහිළුවක් නම් මේක භයානක විහිළුවක්.
ඔබට මතකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙච්ච කාලෙ ඔහු වෙනුවෙන් පිටරට ඉන්න අයගේ තිබුණු රැල්ල. ඒක රැල්ලක් නෙවෙයි කැරැල්ලක්. ඒ රටවලට යනවා, උත්සව පවත්වනවා, ඔහුට ගරු කරනවා, පිටරටවල කැම්පේන් කරනවා. ඔවුන් ලංකාවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනාධිපති කළා. ජනාධිපති කරලා ඒගොල්ලෝ ඒ රටවලට ගියා. ඒගොල්ලේ ඒගොල්ලන්ගේ පරණ ජීවිත ගතකළා. ඒගොල්ලන්ට පුරවැසිභාවය තිබුණා, මිල මුදල් තිබුණා.
ඒ අයගේ ඥාති හිතමිත්‍රාදීනුත් ලංකාවේ සැපපහසුවට ජීවත් වුණා සහ ජීවත් වෙනවා. හැබැයි ලංකාවේ මුදල් තියෙන, ලංකාවේ ජීවත් වෙන, පිටරටවල නෑදෑයෝ නැති අපි ඔක්කොටම නන්නත්තාර වෙන්න සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් ඉවත් වෙන්නේ මේ රට මහා විකාරයක් බවට පත්කරමින්. දැන් අනුර කුමාර දිසානායක මහත්තයත් ඒ විදියටම පිට රටවලට යනවා. අනුර කුමාර දිසානායක මහත්තයගේ දේශපාලන හැසිරීම ඇතුළේ අපට පේන්නේ ගෝඨාභය
රාජපක්ෂ ගේන්න ඩයස්පෝරාව විසින් කරන ලද ව්‍යාපෘතිවලට සමාන බවක්. ඒගොල්ලෝ ඒ වෙලාවේ මහා දේවේන්ද්‍රයෙක් පත්කරගන්න වගේ තමයි උත්සාහ කළේ. ‘මුනින්ද්‍රයාණන්’ කියන වචනේ ඒ වෙලාවේ ඒගොල්ලෝ භාවිත නොකළට ඒ වගේ තමයි ඒ වෙලාවේ ඒක දැනුණේ.
‘මුනින්ද්‍රයාණෙනි’ කියන ගීතය ගායනා කරන්නෙත් ඔස්ටේ්‍රලියාවේ පදිංචි වෙලා ඉන්න මනුස්සයෙක්. ඔහු ඇත්තටම කවුද කින්ද මන්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔවුන් මේ කරන ප්‍රහසනය ඇතුළේ කිසිම තැනක ගොංකමවත්, මොඩ්කමවත් නෙවෙයි තියෙන්නේ. ඔහු මේ සිද්ධ කරන්නේ තමන්ට දැනුණ දේ මහා ඉහළින් වර්ණනා කිරීම. විමසා බැලීමකින් තොරව ඒ කාරණාවේ තියෙන ප්‍රපංචය ගැන අවබෝධයකින් තොරව ඔවුන් විසින් ඒක මහාපරිමාණයෙන් වර්ණනා කරනවා.
කිසිසේත්ම වැරැදියට හිතන්න එපා. අපි කිසිම වෙලාවක සමන්ත භද්‍ර හාමුදුරුවන් ගැන හෝ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ භාවිතාව ගැන කිසිම නරකක් ගැන කතා කරනවා නෙවෙයි. අපි මේ පත්තරය ඇතුළේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ ව්‍යාපෘති ගැන ඉතාම හොඳ කියලා තිබුණා. ඔබට මතකද දන්නේ නෑ අපි ලිපියක් ලිව්වා ‘උමන්දාවෙන් පාට අරගෙන පාට කරගමු ජීවිතේ’ කියලා. උන්වහන්සේ ගාව තියෙනවා ඉතාම සාර්ථක ව්‍යාපෘති. මේක උන්වහන්සේ සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. අපි දැක්කා මීට කලිනුත් රාජාංගණේ හාමුදුරුවන්ට පින්සිරි කියලා මහත්තයෙක් කෝටි ගානක් වියදම් කරනවා.
ඒ කෝටි ගාන වියදම් වුණේ කොහොමද, ඒවා වියදම් වුණේ මොනවටද කියලා කිසි තැනක සඳහනක් නෑ. මේ රටේ ඉන්නවා කන්න නැති මිනිස්සු, ගෙවල් දොරවල් නැති මිනිස්සු, ඉගෙන ගන්න පොත්පත් නැති අන්ත අසරණ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්කම තියෙද්දී මේ පන්සල් පල්ලි කෝවිල් හදන්න බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ. මේ මහත්තුරුත් කරන්නේ ඒකනේ.
ඔවුන් මේ ගුණ වර්ණනා කරමින්, කවි සින්දු ගායනා කරමින් මේ පිස්සු නටන්නේ හරියට යථාර්ථය තේරුම් අරගෙනද? මේ මිල මුදල් වියදම් කරන්නේ හරි දේටද? අවශ්‍ය දේටද? ඒක හොඳට සිහියේ තියාගන්න. එහෙම නැතිව තමන් ගාව තියෙන තුට්ටු දෙක වියදම් කරලා යම් යම් වැඩකටයුතු කරන එක විතරක් නෙවෙයි විය යුත්තේ කියන එක මේගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕනේ.
මේ මිනිස්සු හිනාවෙන්නේ මේ ගීතයට වුණාට මේක නම් ලෝකෙ තියෙන භාවිතාව ඒක හරිම භයානකයි. මතක තියාගන්න ඕනේ මේ රටෙන් පිටරට ගියපු අය තමයි අපිව මේ තැන තියලා තියෙන්නේ. ඒ මිනිස්සු එවන ඩොලර් ටිකෙන් තමයි මේ රට ආරක්ෂා වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ මිනිස්සු පිටරටවලට ගිහින් දුක් විඳින්නේ මේ රට ස්ථාවර කරන ව්‍යාපෘතියේ එක්තරා කොටස්කාරයෙක් විදියට.
ඒගොල්ලේ පිට රට නොගියා නම් අපිට රටකුත් නෑ, අපට හෙටකුත් නෑ. ඒක නෙවෙයි අපි මේ කියන්නේ. ‘මුනින්ද්‍රයාණෙනි’ වගේ ගීත අපට මතක් කරන්නේ කලින් දේශපාලනිකව ගෝඨාභය මහරජතුමා මහින්ද රාජපක්ෂ මහරජතුමාව නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපෘතියේ හැඩය. ඒ හැඩයම තමයි මේ දේශපාලන ක්‍රමවේදය ඇතුළේ පේන්න තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා නැවත වතාවක් මේ දේශපාලන ව්‍යාපෘති මතක් කරන ආකාරයේ ගොං පාට් කරන්න එපා පිටරටවල ඉඳන් ලංකාවට ඇවිල්ලා.
ඔයාලා ඒ රටවලට වෙලා කීයක් හරි හම්බකරගෙන ආතල් එකේ ජීවත් වුණා නම් ඒ ආතල් එකේම ජීවත් වෙන්න. ඔයාලා ලංකාවට ඇවිල්ලා අපට පොඩි ආතල් එකක් දීලා ආපහු ඒ රටවලට ගියාට පස්සේ අපට ජීවත් වෙන්න තරම් මහලොකු ආතල් එකක් මේ රටේ නෑ. අපි ජීවත් වෙන්නේ හරිම සරල සාමාන්‍ය ජීවිත ගතකරමින්. ඒක නිසා මේ ටික දවසක් අපට හිනාවුණාට අපට හැමදාම හිනාවෙලා ඉන්න බෑ. ඒක නිසා මෝඩ ආතල් දෙන එක දැන්වත් නවත්තන්න.
ජීවන පහන් තිළිණ











