රට අරාජික වීම සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉවත් නොකරන්නේ නම් සමගි ජනබල පක්‍ෂය ද වෙනම එවැනි කමිටුවක් පත්කිරීමට සූදානම් වන බව පැවසෙනවා. Sri Lanka Latest News
මේ සම්බන්ධව අදහස් දක්වමින් එම කමිටුව සඳහා කතානායකවරයා විසින් පත්කළ කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියන්නේ තමුනට එම කමිටුව සම්බන්ධව ගැටලුවක් නැතිමුත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා එහි සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධව ගැටලුවක් පවතින බවයි.
සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පොහොට්ටුව පක්‍ෂයේ මහ ලේකම් ධුරය දරමින් රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධුරය දැරීමේ දී එහි ස්වාධීනත්වයක් අපේක්‍ෂා කළ නොහැකි බැවින් තමා සහ පක්‍ෂයේ සෙසු සාමාජිකයන් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බවයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියන්නේ.
“මම මගේ විරුද්ධත්වය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නා. එතුමා ඒ සම්බන්ධව නිසි පියවරක් නොගන්නේ නම් පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් වෙනම කමිටුවක් පත්කරනවා” යි ඔහු පවසනවා.










