වන් ගොල්ෆේස් සාප්පු සංකීර්ණයේ ඇති අවන්හලක අරක්කැමි පාඨමාලාවක් හැදෑරීම සඳහා පැමිණි තරුණයකුගේ ගමන් මල්ලක තිබී පතොරම් දෙකක් හමුවී ඇත. (Sri Lanka Latest News)
මෙම තරුණයා පෙරේදා (08) සවස වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයට ඇතුළු වීමට ආ අවස්ථාවේදී ඔහුගේ ගමන් මල්ල වන් ගෝල්ෆේස් ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කර පරීක්ෂා කිරීමේදී මෙම පතොරම් දෙක හමුවී ඇත. එම් 16 වර්ගයේ ජීව පතොරමක් සහ හඳුනා නොගත් තවත් හිස් පතොරමක් එහි තිබී හමුවී තිබේ.
ඒ අනුව වන් ගෝල්ෆේස් ආරක්ෂකයින් විසින් මෙම තරුණයාව කොටුව පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත.
මෙම සිසුවා නිකවැරටිය මාගල්ලේගම පදිංචි 23 හැවිරිදි අයකු බව කොටුව පොලිසිය කියයි.
මෙම පතොරම් තමාට මිතුරකු මඟින් ලැබුණු බවත්, ඒවා ළඟ තබාගත්තේ එය මාලයක් ලෙස සකස් කර කරෙහි එල්ලා ගැනීම සඳහා බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පොලිසියට පවසා ඇත.
මෙම තරුණයාගේ පසුබිම් තොරතුරුද පොලිසිය සොයා බලා ඇති අතර, ඔහු යහපත් චරිතයක් ඇති අයකු බවත්, කලහකාරී හෝ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ නැති අයකු බවත් හෙළිව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
dinamina










