නතාෂා එදිරිසූරියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.Sri Lanka Latest News
ඒ, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට අදාළව ය.
ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන නතාෂා එදිරිසූරිය තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (ජූලි 5) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි.
“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
කෙසේ වෙතත්, ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (ජූලි 5) දහවල් කොළඹ අංක 4 මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී ඇය ඇප මත මුදාහැරිණි.
ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර තිබිණි.
සැකකාරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය කනගාටුවට පත්වන බව ප්‍රකාශ කිරීම ද යම්කිසි අයෙකුට හෝ යම්කිසි කණ්ඩායමකට අපහසුතාවක් සිදු වූයේ නම් ඇය ඕනෑ ම අවස්ථාවකදී ඕනෑ ම තැනකට පැමිණ සමාව අයැදීමට සූදානම් වන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වීම ද නීතිපතිවරයා සැකකාරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොදැක්වීම යන කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කරන බව විනිසුරුවරයා දැනුම් දී තිබිණි.
ඒ අනුව, අදාළ නියෝගය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියම කරන තිබිණි.
සමාජය කැළඹීමට තරම් චරිතයක් අදාළ වගඋත්තරකාරිය සතුව තිබුණේ ද යන්න ප්‍රශ්නය මතු කරමින් මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා පළ වන තෙක් වගඋත්තරකාරිය පිළිබඳව සමාජය දැන නොසිටි බව ද ඇයගේ ම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම පිළිබඳවද කරුණු ඉදිරිපත්ව නොමැති බව ද විනිසුරුවරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබිණි.
ඇගේ ප්‍රකාශයෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් වී නොමැති අවස්ථාවක මෙවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව දණ්ඩනීති සංග්‍රහ පනත යටතේ සලකා බැලිය යුතු බව ද පෙන්වා දී තිබුණු විනිසුරුවරයා අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත මානව හිමිකම් තහවුරු කිරීම සඳහා ස්ථාපනය කර ඇති බැවින් කිසියම් ප්‍රබල පුද්ගලයෙකු පැමිණිලි කළ පමණින් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ ද යන්න සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය හමුවේ ප්‍රශ්න කෙරිණි.
වගඋත්තරකාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.
“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
එහිදී අධිකරණය මගින් සැකකාරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර අනතුරුව සැකකාරිය විසින් මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව, මහාධිකරණය මගින් සැකකාරිය ඇප මත මුදාහැරීමට ඊයේ නියම කෙරිණි.










