ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය හා සිම් කාඩ් පත සතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) නියෝග කළාය. (Sri Lanka Latest News)
මේ වන විට එම ජංගම දුරකතනය හා සිම් කාඩ් පත රජයේ රස පරීක්ෂක කාර්යාලයේ විමර්ශන සඳහා යොමු කර ඇති බවත්, විමර්ශන අවසන් නම් මෝසමක් මාර්ගයෙන් හෝ අධිකරණය වෙත වහා ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය නොවූයෙන් මරණකරු භාවිතා කළ දුරකතන අංකය එලෙස පවත්වාගෙන යෑමට ඔහුගේ බිරිය විසින් කරන ලද ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩු දිනයේ සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
මරණයට අදාළ සමාජ මාධ්‍ය දත්ත වාර්තා හා දුරකතන වාර්තා මෙම දුරකතනයේ සටහන් වී ඇති බවත්, දුරකතනය දැනට විශ්ලේෂණ වාර්තා සඳහා රස පරීක්ෂකවරයා වෙත දී ඇති බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි දත්ත විනාශ වී යා හැකි දැයි යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කර, ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් ගොනු කරන බවත් පැවසීය.
මරණකරුගේ බිරියට එකී දුරකතන අංකය භාවිත කිරීමට දීමෙන් සිද්ධියට අදාළ සාක්ෂි විනාශ විය හැකි ද යන්න හැකිද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය හරහා අධිකරණය මෙම වාර්තාව කැඳවා තිබිණි.
මරණකරුගේ දුරකතන අංකය එලෙසම පවත්වාගෙන යෑමට බිරියට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉකුත් 6 දින අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි.
මරණකරුගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු වන අතර, සිරුරෙන් ලබාගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
Dinesh Shafter










