කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවෙසේ මෙහෙකාරියක වූ ආර්. රාජකුමාරිගේ මරණය පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුවන්ගේ දීර්ඝ ලැයිස්තුවට අලුතින්ම එක්වූ තවත් අබිරහස් මරණයකි.(Sri Lanka Latest News)
ඇය මියගියේ පොලිස් පහරදීමකින්ද? එය තවමත් අබිරහසකි. ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා මෙතෙක් ප්‍රසිද්ධ කර නැත. කොළඹ අලුත්කඩේ අංක 04 අධිකරණයේ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවීමට නියමිතව තිබිණි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් එහි සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් මියගිය කාන්තාවගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
රාජකුමාරිට මොකද වුණේ?
පොලිස් අත්අඩංගුවේ දී මියගිය ආර්. රාජකුමාරිගේ ස්වාමිපුරුෂයා වන්නේ සෙල්ලදොරේ යේසුරාජ්ය. ඔවුන්ගේ පදිංචිය බදුල්ල, දෙමෝදර ප්‍රදේශයයි. ඔහු රැකියාව ලෙස අම්පාර ප්‍රදේශයේ උක්වත්තක උක්ගස් කැපීමේ නිරත වෙයි.
යේසුරාජ් සහ රාජකුමාරි දරුවන් තුන්දෙනකුගේ මවුපියන් වන අතර ඔවුහු අවුරුදු 7, 11, 13 යන වයස්වල පසුවෙති. ගැහැනු දරුවන් දෙදෙනකු සහ පුත්‍රයකුගේ ආදරණීය මවක වන ආර්. රාජකුමාරි මියයන විට 41 හැවිරිදි වියේ පසුවූවාය.
‘බිරිඳගේ මරණයත් එක්ක මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. දරුවෝ තුන්දෙනා ජීවත් කරවන්න…’ යේසුරාජ් පැවසීය.
යේසුරාජ්ට අනුව ඔහුගේ බිරිඳ ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ රාජගිරියේ පිහිටි ගෙදරක වසරක පමණ කාලයක් සේවයේ යෙදී සිට තිබේ. පසුගිය මැයි 11 වැනිදා යේසුරාජ් තමන්ගේ බිරිඳට දුරකතන ඇමතුමක් දෙන අවස්ථාවේ ඇය සිට ඇත්තේ පොලිස් භාරයේය. තමන්ට පොලිසියෙන් පහරදෙන බවත්, ඇයව බේරාගන්නා ලෙසත් ඇය එහිදී ස්වාමිපුරුෂයාට පවසා ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පැවැසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවැසුවේ නිවෙසක තිබූ රන් මුදුවක් ඇතුළු වටිනා භාණ්ඩ මෙහෙකාරියක විසින් සොරකම් කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිවෙසෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය.
වැලිකඩ පොලිසිය ඒ පිළිබඳ විමර්ශනය කර ආර්. රාජකුමාරි අත්අඩංගුවට ගෙන තිබුණේ වෙනත් නිවෙසක සේවය කරමින් සිටියදීය.
පොලිස් ස්ථානයේ රඳවා සිටින අවස්ථාවේ යම් අසනීප තත්ත්වයක් ඇති බව එම කාන්තාව දැනුම් දීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඇයව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් එලෙස ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඥාතීන් සහ වෙනත් පාර්ශ්ව මෙම මරණය පිළිබඳ සැක පළකිරීමෙන් පසු මේ පිළිබඳ වහාම විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවත් ඔහු පවසා සිටියේය.
නිලධාරීන්ගේ වැඩ තහනම්
අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණේ, පොලිස් නිලධාරීන්ගේ අතින් යම් රාජකාරී අතපසුවීමක් හෝ සිතාමතා යම් වරදක් සිදුවී ඇති දැයි අනාවරණ කරගැනීම සඳහාය. ඒ අනුව අදාළ විමර්ශනයේ නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා විසින් නිලධාරීන් 04 දෙනකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ.
ඒ, රාජකුමාරිගේ විමර්ශනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයකුගේය.
මීට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක්, කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ඨාස තුනට ස්ථාන මාරුකර යවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ද ස්ථාන මාරුකිරීමට පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත නිර්දේශයක් කර ඇති බවය. අදාළ හොරකම සහ කාන්තාවගේ මියයෑම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර එම විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.
පොලිස් නිලධාරීන් යම් අපරාධමය වරදක් සිදුකර තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් විනය විරෝධී ක්‍රියාවක් කර ඇත්නම් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
‘වැඩ තහනම් කිරීමෙන් පලක් නැහැ’
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අවධාරණය කර සිටියේ මෙම පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කිරීමෙන් සහ ස්ථානමාරු කිරීමෙන් පලක් නොවන බවය.
‘වැඩ තහනම් කරනවා කියන්නේ විනයානුකූල විමර්ශන පියවරක් නේ. අපරාධයකට අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි….’ ඔහු කියා සිටියේය.
නීතිඥ සේනක පෙරේරා පැවැසුවේ, මෙම කාන්තාවට පහරදීමක් කර තිබේ නම්, ඊට සම්බන්ධ සහ අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවය. රාජකුමාරි අත්අඩංගුවට පත්වන්නේ සොරකමක් සම්බන්ධ චෝදනා මතය.
සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට, එය පොලිස් පොත්වල සටහන් කළ යුතු බවත්, එහෙත් ඒ පිළිබඳ සටහන් තබා නොමැති බවත් අනාවරණය වී ඇතැයි නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.
මේ අතර සුදේශ් නන්දිමාල් කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ ‘සැකකරුවන් සෑහෙන පිරිසක්’ පොලිස් අත්අඩංගුවේදී මියගොස් ඇති බවය.
‘ආයුධ හොයන්න කියලා අරන් ගිහින් තිබුණා. ඒත් අත්අඩංගුවේ හිටපු අයනේ…’ ඔහු සඳහන් කළේය.
‘අත්අඩංගුවට පත්වෙලා මිනිස්සු මියයනවා කිව්වාම සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, පොලිසියට යනවා කියන්නේ මිනිහෙක් අනාරක්ෂිතයි. කොයි මොහොතක යන මනුස්සයා ආපහු එළියට එයිද කියලා විශ්වාසයකුත් නැහැ. ඒ තරමටම ශ්‍රී ලංකා පොලිසිය වධකාගාරයක් වෙලා. පොලිසියට යනවා කියන කොටම මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ ගුටිකන්න වෙනවා. වධ හිංසනයට පත්වෙන්න වෙනවා කියන හැඟීමනේ. ඒක කාලෙක ඉඳලා එන දෙයක්නේ. ඉතින් ඒ වගේ ඒවා සනාථ වෙනවා මේ වගේ සිද්ධි එක්ක…’ නන්දිමාල් සඳහන් කළේය.
අත්අඩංගුවේ සිටින සැකකරුවකු පිළිබඳ පොලිසියට ඇති වගවීම කුමක්ද?
විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා සඳහන් කළේ, පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ඒ පිළිබඳ සැකකරුගේ පවුල හෝ ළඟම ඥාතීන් දැනුවත් කළ යුතු බවය.
‘කාටවත් ගහනන්න බැහැ. ප්‍රශ්න කරනවා නම් හරි නම් නීතිඥවරයෙක් ඉන්න ඕනේ. මොන නීතිය පාවිච්චි කළත් පහර දෙන්න බැහැ. මේක යන්නෙ කස්ටෝඩියල් ඩෙත් එකක් විදිහට…’
නීතිඥ භවානි ෆොන්සේකා සඳහන් කළේ සැකකරුවකු පොලිසිය භාරයේ සිටින විට සැලකිය යුතු ආකාරය ගැන මීට පෙර මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.
‘පෙර නඩු තීන්දුවලින් දීලා තියෙන නිර්දේශවත් අනුගමනය කරලා නැහැ. ගොඩක් අය පොලිසියට විවේචන එල්ල කරන්නේ මේවගේ සිද්ධි නිසා….’
‘කස්ටෝඩියල් ඩෙත් එකක් කියන්නේ ලොකු ප්‍රශ්නයක්.’ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඇය අවධාරණය කළාය.
‘කන්ද උඩරටින් ඇවිත් කොළඹ වැඩ කරන කාන්තාවන්ට වෙච්ච පළමු සිද්ධිය නෙමේ’
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තුවේදී (මැයි 23 වැනිදා) අදහස් දක්වමින් කියා සිටියේ ‘සුදර්මා නෙත්තිකුමාරගේ නිවෙසේ වැඩ කරපු කාන්තාව 11 වැනිදා හවස පොලිසියට භාර දීලා තියෙනවා. 12 වැනිදා උදේ මැරිලා. පොලිසියෙන් ගහලා තියෙනවා කියලා තමයි දැනට රෝහල් ආරංචි මාර්ග කියන්නේ. එතකොට පොලිසියෙන් ඇයි රුපියල් 10,000ක් සල්ලි දෙන්නේ, බොඩිය ගෙනියන්න.
රුපියල් 10,000ක් 25,000ක් දීලා. අහිසංක පොඩි ළමයි තුන්දෙනෙක් ඉන්නේ. මේ කාන්තාව දැන් වළදාලත් ඉවරයි….’ ඔහු පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කන්ද උඩරට ප්‍රදේශවල සිට කොළඹ සේවයට පැමිණෙන කාන්තාවන්ට අත්විඳීමට සිදුවූ පළමු මරණය මෙය නොවන බවයි. ‘මේක පළවෙනි එක නෙමේ කන්ද උඩරට ඉඳලා කොළඹ අවිල්ලා වැඩකරන කාන්තාවන්ට වෙන ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් පොලිසිය හරි තීන්දු ගන්න ඕනේ….’ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඔහු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසය. ‘කන්ද උඩරට ඉඳලා අවිල්ලා වැඩ කරන තරුණ තරුණියන්ට, කාන්තාවන්ට මේ පළවෙනියට වෙච්ච දේ නෙමෙයි. මීට වඩා ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ නිසා මෙයාලගේ ආරක්ෂාව සම්බන්ධව පොලිස් ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂ සැලකිල්ලක් යොමු කරන්න කියලා. නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ ගැහැනු ළමයි දෙන්නෙක් මරුණා. තවත් කොල්ලෙක් මරුණා. දැන් ඊයේ පෙරේදා කාන්තා කෙනෙක් මැරිලා තියෙනවා. මේවගේ දැන් දිගටම මේ ප්‍රශ්නය යනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා….’ ඔහු කියා සිටියේය.
මේ අතර පසුගිය මැයි 24 වැනිදා උදෑසන 9.30 කොළඹ අලුත්කඩේ උසාවී සංකීර්ණය ඉදිරිපිටදී ‘රාජකුමාරිට යුක්තිය’ නමින් නිහඬ විරෝධතාවයක් ද සංවිධානය කොට තිබිණි.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










