සතොස ආයතනය තුළ සිදුවූ සුදුළූණු වංචාව, ගෑස් පිපිරීම, දත්ත මගඩිය වැනි ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තූෂාන් ගුණවර්ධන මහතා මේ වනවිට තමන්ට එල්ල වූ බරපතළ මරණ තර්ජන හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත.
මේ බව ගුණවර්ධන මහතා චමුදිත සමරවික්‍රම මහතා සමග සිදුකර ඇති වීඩියෝ සාකච්ඡාවකදී අනාවරණය කොට තිබේ.
සතොස ආයතනය තුළ පසුගියදා සිදුකෙරුණු සුදුළූණු වංචාව පිළිබදව පළමුවරට රටට හෙළිදරව් කළේ තුෂාන් ගුණවර්ධන මහතාය.
පසුව ඒ මහතා තමන්ට බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගෙන් ජීවිත තර්ජන මතුව ඇති බවද චමුදිත සමග කළ සාකච්ඡාවකදී අනාවරණය කොට තිබිණ.
කෙසේවෙතත් පසුගිය කාලයේදී තුෂාන් ගුණවර්ධන මහතා තමන්ට දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හමුවේ සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවට යාමට පියවර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා නැවත වතාවක් චමුදිත සමග වීඩියෝ සාකච්ඡාවක් පැවැත්වීමට පසුගිය දිනෙක පියවර ගෙන තිබිණ.
මෙම වීඩියා් සාකච්ඡාවේදී නැවත වතාවක් තුෂාන් ගුණවර්ධන මහතා බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට බරපතළ චෝදනා ගණනාවක් එල්ල කරන ආකාරයක් දැකගත හැකිය.
එමෙන්ම ගෑස් පිපිරීම සම්බන්ධයෙන් එහි හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතාට බරපතළ චෝදනාවක් එල්ල කිරීමටද ගුණවර්ධන මහතා කටයුතු කොට ඇත.
තමන්ගේ කට වැසීම සදහා පොහොට්ටු කාර්යාලයට කැදවා මුදල් දීමට උත්සාහ කළ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් ඒ මහතා කියා සිටියේය.










