අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(29) නියෝග කර තිබේ.
ඒ, 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින්ට එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට මහාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන් කෙරිණ.











