අපි පහුගිය කාලෙ පුරාම කතා කළේ මිනිස්සුන්ගේ බලුකම් ගැනනේ. හැබැයි බල්ලන්ගෙ මනුස්සකම් ගැන කතා කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේ කතාව බල්ලන්ගේ මනුස්සකම් සහ මිනිස්සුන්ගෙ මනුස්සකම් ගැන. දෙකම එකට කතා කරන්න පුළුවන් අවස්ථාවක්. එහෙම අවස්ථාවක් කලාතුරකින් මේ වගේ රටක උදාවෙච්ච එක ගැන අපි මුලින්ම සතුටු වෙනවා.
මේ කතාව අපි හොයාගත්තේ අන්තර්ජාලයේ එහෙට මෙහෙට යන වීඩියෝවකින්. ඒ වීඩියෝවේ තියෙන්නේ සුනඛයෙක් මියගියාට පස්සේ ඒ සුනඛයා වෙනුවෙන් අවසන් කටයුතු සිදුකරන්න අවමංගල්‍ය උත්සවයක් කරලා පැන් වඩලා පින් අනුමෝදන් කරන අවස්ථාවක්. මේ වීඩියෝව ඇතුළේ එක්තරා භික්ෂුන්වහන්සේ නමක් ඒ පිළිබඳ අපූරු ධර්ම දේශනාවක් කරනවා. උන්වහන්සේ කියනවා මුලින්ම මේ සුනඛයාගේ නම ‘බූලා’. මේ සතා විහාරස්ථානයේ හැදුණු වැඩුණු කෙනෙක්. මුළු ගමටම, ප්‍රදේශවාසීන් සියලු දෙනාටම මේ සතා හිතවත්ව ජීවත් වුණු ආකාරය ගැන උන්වහන්සේ පැහැදිලි කරනවා. ඇත්තටම මේ සුනඛයා මේ විදියට ගමක් එක්ක හොඳින් ජීවත් වෙනකොට, විහාරස්ථාන අවට ගේ දොර හදාගෙන විහාරස්ථානයත් එක්කත් අමනාප වෙච්ච, දායක සභාව එක්ක අමනාප වෙච්ච මිනිස්සුන්ගේ කතන්දර අපට ඕනෙ තරම් අහන්න ලැබෙනවා. මේ සුනඛයා, නැත්නම් මේ බූලා ගමට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් ආදර්ශවත්ව ජීවත් වුණු ආකාරය වගේම උන්වහන්සේ තවත් අපූරු කතාවක් කියනවා. මිනිස්සුන්ට මනුස්සකම් අමතක වෙලා ගියපු කාලෙක මේ සුනඛයෙක් ගාව තිබුණු මනුස්සකම කොච්චර වටිනවද කියන එක. ඇත්තට මේ වගේ කතන්දර කිහිපයක්, ඒ වගේම කිසිම ලාභයක් අපේක්ෂා නොකරන ආකාරයෙන් අපි කොහොමද සතෙකුට සලකන්නේ කියන එකත් උන්වහන්සේ පැහැදිලි කරනවා. මේ කතාව ඇතුළේ තවත් අපූරු කතාවක් උන්වහන්සේ කියනවා. ඒ තමයි සතෙකුට ආදරේ නොකරන මනුස්සයෙක් ගාව ඇත්තටම මනුස්සකම නැහැ කියන එක. ඒක ඇත්තද බොරුද කියන එක ඔබ ඔබෙන්ම අහලා දැනගන්න ඕනෙ කාරණයක්. කොහොම නමුත් මේක අපූරු වැඩක්. මිනිස්සුන්ට මනුස්සකම් අමතක වෙලා ගිය කාලෙක අපි මේ මනුස්සකම් අමතක වෙච්ච දේශයේ මිනිස්සුන්ගේ කතන්දරය තවත් එක වාර්තාවක් විදියට මේ පුවත්පතේම විශේෂාංගයක් විදියට පළකරලත් තියෙනවා.
ඉතින් ඒ අස්සේ මේ වගේ කතාවක් ලියන්න ලැබිච්ච එක ගැන ඇත්තටම ලියුම්කරු විදියට මම සතුටු වෙනවා. ඒකට හේතුව තමයි මේක අපි රටක් විදියට ගෙවන ඉතා දුෂ්කර කාලයක්. ඒ වගේ කාලෙකදී හුඟක් වෙලාවට අපි අතින් සිදුවිය යුතු ඉතා සාමාන්‍ය මානුෂීය දේවල් ටික පවා සිදු නොවී යන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට පීඩනය දැනෙනකොට, මිනිස්සුන්ට ප්‍රශ්න දැනෙනකොට ඔවුන්ට හුඟක් දේවල් මඟහැරෙනවා. එහෙම තත්ත්වයක් යටතේ මෙහෙම කතාවක් මේ විදියට ලියද්දී අපට දැනෙන්නේ ආයෙත් මිනිස්සු ගාව මනුස්සකම තියෙනවා කියලා. මේ භික්ෂුන්වහන්සේ සහ විහාරස්ථානය කොහෙද කියන එක ගැන අපි හොයලා බැලුවත්, අපට ඒ ගැන නිශ්චිතව හොයාගන්න බැරි වුණා. ලිපිය ලියලා අවසන් කරන්න කලින් ඒ පිළිබඳ තොරතුරු ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ සම්බන්ධව අන්තර්ජාලය ඇතුළේ බොහෝ ඉල්ලීම් කරලා යැවුවා.
කොහොම නමුත් මේ ගමේ මිනිස්සුත් මේ පින්කමට එකතු වෙලා තිබුණා. පැන් වඩන්න ගමේ මිනිස්සු එකතු වෙලා තිබුණා. මේ සුනඛයාට ගෞරව කරන්න ඔවුන් එකතු වෙලා තිබුණා. අපි රටේ රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය මනුෂ්‍යයා දක්වාම ගරු කළ යුතුයි, ඒ අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතුයි, මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සැලකිය යුතුයි, සත්තුන්ටත් පුළුවන් නම් මිනිස්සුන්ට විදියට සැලකිය යුතුයි කියන පාඩම උන්වහන්සේලා නොමිලේම මිනිස්සුන්ට උගන්වනවා. ඉතින් මේ පාඩමවත් අපි ගත්තොත් හෙට මීට වඩා සුන්දර වේවි කියලා අපි හිතනවා. ඒත් අවාසනාවකට අපේ මිනිස්සුන්ට බොහෝ දේවල් අමතක වෙලා ගිහිල්ලා. ලෝක ඉතිහාසෙ මේ විදියට සුනඛයන්ට ගරු නම්බු දීපු, සලකපු අවස්ථා ඕනෙ තරම් තියෙනවා. ‘හචිකෝ’ කියලා කියන්නේ ඒ වගේ සුනඛයෙක්. ඒ වගේම අපි දන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ හිටපු ‘දෝනි’ගෙ කතන්දරය. දෝනිට ඒ අය කොයි තරම් සැලකුවද කියන එක අපි මේ විදියටම පුවත්පත තුළ විශේෂාංගයක් ලෙස පළ කළා. ඒක අපේ රටේ විශාල පිරිසක් කියෙව්වා. ඒ වගේම දුම්රියපළක් අබියස අදටත් සිහිවටනයක් වෙච්ච ජපන් සුනඛයාගේ කතාව ඔබ අපි දන්නවා. ඒ නිසා සුනඛයෝ කියලා කියන්නේ මිනිස්සුත් එක්ක අනාදිමත් කාලයක් පුරා ළඟින් හිටපු කෙනෙක්. ඇත්තටම ඒ අයගෙන් අපට තිබුණු ලාභය මොකක්ද කියන එක ගැන අපි ඉතිහාසෙ හොයලා බැලුවොත් දඩයම් කරන්න, ආරක්ෂාව සපයන්න වගේ බොහෝ කටයුතුවලදී සුනඛයා අපට උදව් කළා. ඒත් දැන් ඇත්තටම එහෙම නැතුව සැපට ඉන්න අපේ ගෙදර සුනඛයාටත් අපි ඒ විදියටම ආදරේ කරනවා. සලකනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට මනුස්සකම් අමතක වෙච්ච කාලෙක, මිනිස්සුන්ගෙ මනුස්කම් සහ බල්ලෙක්ගෙ මනුස්සකම් ගැන කතා කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා. අවාසනාවට අපේ රටේ ගොඩක් වෙලාවට මිනිස්සු බල්ලො බවට පත්වෙලා, බල්ලන්ගෙ බලුකම්වලට වඩා මිනිස්සුන්ගෙ බලුකම් ඉස්මතු වෙලා. ඒ නිසා බල්ලන්ටත් අගෞරව වෙන ආකාරයට හැසිරෙන අයත් ඉන්නවා. ඒ නිසා එහෙම අයට ‘බල්ලා’ කියන්න එපා කියන එක මේ මොහොතේ ඔබට සිහිපත් වුණොත් ඒක තමයි වටිනාම දේ.

ජීවන පහන් තිළිණ










