මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනෙක් රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් නියෝග ලැබුණේය. ඒ, අදාළ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී එම ජීප්රථයේ සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරු සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබිණි.
නිදන් හෑරීම සඳහා පොළොව පරීක්ෂා කරන උපකරණයක්ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගත්තේය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ ගංජා පැළ තොගයක්ද නිවෙස පරීක්ෂා කිරීමේදී සොයා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගංජා පැළ 650 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ගංජා ගෙනා පොලිස් ලොක්කාගේ සේවය අත්හිටුවීමට නියමිතව තිබේ.
ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන, ඔවුන් සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් සහ රන් භාණ්ඩ සොරාගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිවුදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඒ ගිය වසරේ අග භාගයේ දී වාර්තා වූ පුවතකි.
දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටී.එම්. යන්ත්‍රවලින් ඉතා සූක්ෂ්ම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනෙකු, මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බද්දේගම ප්‍රධාන මහේෂ්ත්‍රාත් එම්.පී.ජි. ප්‍රනාන්දු නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බල්ගේරියානු ජාතික ජොර්ජ්සිස් අයිවනොර් කැනඩා ජාතික ජොර්ජ් ආතර්ටන්, පොලිස් පරීක්ෂක අංජාන ද සිල්වා, දෙහිවල පදිංචි ආදම් ලෙබ්බේ යතිර් සහ පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි අනුර කුමාර ජයරත්න නැමති පුද්ගලයින්ය. මේ කතන්දරයට පොලීසිය කෙළින්ම ගෑවී අවසන්ය.
පහුගිය කාලයේ පොලීසිය කළේ ඉස්කෝලෙ බෑග් වල පවා මත්ද්‍රව්‍ය සෙවීමය. නමුත් දැන් හොරු ඉන්නේ පොලීසිය අස්සේමය. වැඩේ ලෙඩේ වෙන්නේ ඒ නිසාය. පේන්නම ඇත්තේ හොරු සමග හෙලුවෙන්ය. කතාව හැබෑවටම ඕකය. අපිට කෙළින්ම පොලීසියෙන් අහන්න තියෙන්නේ මේකය. පොලීසිය ජඩ වැඩ කරනා විට රට රකින්නේ කවුද යන්නය?

ජීවන පහන් තිළිණ










