• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිළිණි-ජානකී එක්ක ගනුදෙනු කළ දේශපාලකයන් කෝ?

November 15, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
තිළිණි-ජානකී එක්ක ගනුදෙනු කළ දේශපාලකයන් කෝ?
Share on WhatsAppShare on Facebook

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ Thico Group of Companies (Pvt) Ltd නමින් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය ඔක්තෝබර් 05 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනකු රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා නඟමින්. රුපියල් මිලියන 22කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු සිදුකරන ලද පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගැනුණු අතර, ඇය විසින් අයථා ලෙස උපයා ඇති මුදල රුපියල් කෝටි දෙසීයකට අධික බව මාධ්‍ය වාර්තා කළා. මෙම වංචනික ක්‍රියාවන්ට තිළිණි සමග ඍජුවම සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන පුද්ගලයකු වූයේ තිළිණිට අයත් Thico Group of Companies (Pvt) Ltdහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඉසුරු චාමික බණ්ඩාර නමැත්තායි. ඔහු තිළිණි ප්‍රියමාලිගේ ස්වාමිපුරුෂයා බව පැවැසුණු අතර, විමර්ශනවලින් හෙළිවී ඇත්තේ තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචාවල ප්‍රධාන පුරුක ඉසුරු බණ්ඩාර බවයි. ඒ අනුව ඉසුරු බණ්ඩාර නමැත්තාද පසුගිය ඔක්තෝබර් 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉසුරු චාමික බණ්ඩාර නැමැත්තා තිළිණි ප්‍රියමාලිගේ ස්වාමිපුරුෂයා ලෙස පෙනී සිටියද ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී ඇති බවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන නැත. තිළිණිගේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කිරීමට ව්‍යාපාරිකයන් රවටා තිළිණි හමුවට ඔවුන් රැගෙන ගොස් ඇත්තේද මෙම පුද්ගලයා බව විමර්ශනවලින් අනාවරණ වී ඇත. තිළිණි ප්‍රියමාලිට එරෙහිව මුල්ම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අබ්දුල් හසන් නමැති ව්‍යාපාරිකයා විසින් වන අතර, ඉන්ධන නෞකාවක් ආනයනය කිරීමට මුදල් මදිපාඩුවක් වී ඇති බව කියමින් ඔහුව රැවටීමකට ලක්කර ඇමෙරිකානු ඩොලර් 60,000ක් සහ ඔස්ටේ්‍රලියානු ඩොලර් ලක්ෂයක් වංචනිකව ලබාගැනීමට මුල්වී කටයුතුකර ඇත්තේද මෙම ඉසුරු චාමික බණ්ඩාර නමැත්තා බව විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත.

මොහු ශරීර ආරක්ෂකයන් පිරිවරාගෙන සිටි අයෙකු බවත් හෙලිකොප්ටරයක් කුලියට ගෙන තිළිණි සමග රට වටා ගුවන් සවාරි ගොස් ඇති බවත් මේ වන විට හෙළිවී ඇති තොරතුරු අතර වේ. තිළිණි ප්‍රියමාලි විසින් වංචාසහගතව රැස්කර ගත් මුදල් පිළිබඳ තොරතුරු සහ රහස් ගොන්නක්ම දැන සිටින ප්‍රධාන චරිතයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉසුරු බණ්ඩාර නමැති මෙම පුද්ගලයා හඳුනාගෙන තිබේ.

මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන ඇති සුවිශේෂම කරුණ නම් තිළිණි වංචාසහගතව උපයා ගත් රුපියල් මිලියන ගණනක මුදල් ඇයට හෝ ඇය නාමිකව පිහිටුවාගත් Thico Group of Companies (Pvt) Ltd සමාගමට අයත් කිසිදු ගිණුමකට බැරකර නොමැති බවයි. ඒ සියලු මුදල් ඇය සන්තකයේ තබාගෙන සිට ඇති බවත් එම මුදල් ලෝක වෙ‍ළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි ඇගේ කාර්යාලයට හෝ රැගෙන විත් නැති බවත් විමර්ශනවලදී හඳුනාගෙන ඇත. ඒ අනුව එම මුදල් වෙනත් පාර්ශ්වයකට ලබාදී ඇති බවත්, මේ වන විට එම මුදල්වලින් සුළු කොටසක් පමණක් වියදම් කොට, වියදම් නොකළ තවත් සුවිශාල මුදල් සම්භාරයක් ඇය සන්තකයේ තිබිය හැකි බවත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.

තිළිණි ප්‍රියමාලිගේ මෙම වංචාවන් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතිවී මේ වන විට මාසයකට අධික කාලයක් ගතවී අවසන්ව ඇති පසුබිමක ඇයට මෙම මූල්‍ය වංචාවන් සිදුකරන්න ඍජුව දායකත්වය සැපයූ බව කියන තවත් ප්‍රධාන චරිතයක් වූ භික්ෂුන්වහන්සේ නමක් පිළිබඳ පසුගියදා අනාවරණ විය. උන්වහන්සේ පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ය. කඩවත වෑබඩ අරහත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩවාසය කරන, මාර්ගඵලලාභී හිමිනමක ලෙස තමන්ව හඳුන්වා ගන්නා සිරිසුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 01 වැනිදායි. මේ භික්ෂුව සමග තිළිණි ප්‍රියමාලි කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇතත්, උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තම විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් පමණක් බවත්, ඊට එහා ගිය සම්බන්ධයක් ඇය සමග තමන් වහන්සේට නොතිබුණු බවයි. එසේම කිසිදු වංචනික ක්‍රියාවකට තමන් වහන්සේ ඇය සමග සම්බන්ධ නොවූ බවද සිරිසුමන හිමියන් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලි විසින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීමෙන් පසු, යළිත් එම ව්‍යාපාරිකයන් අදාළ මුදල් ඉල්ලා ඇයට කරදර කරන විට ඇය එම ව්‍යාපාරිකයන්ව රැගෙන ගොස් ඇත්තේ බොරැල්ලේ සිරිසුමන හිමියන් වැඩසිටින සෙනසුන වෙතය. එහිදී උන්වහන්සේ එම ව්‍යාපාරිකයන්ට සෙනසුනේ කාමරයක් විවෘත කර එහි ගොඩගසා ඇති රත්‍රන් කුට්ටි (රන් පොලු) තොගයක් පෙන්වමින් ඔවුන්ට පවසා ඇත්තේ එම රත්‍රන්වල හිමිකාරිය තිළිණි ප්‍රියමාලි බවත්, ඒවා අලෙවි කර ඔවුන්ගේ මුදල් පියවීමට කඩිනමින් කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රන් යැයි කියූ එම රන් පැහැති පොලු සැබෑ රත්‍රන් නොව පිත්තල කුට්ටි බවයි. එම එක් පිත්තල කුට්ටියක් කිලෝග්‍රෑම් එකක බරින් යුතු බවත්, ටොන් දෙකකට අධික බර පිත්තල කුට්ටි එහි තිබී ඇති බවත් විමර්ශන කණ්ඩායම් මේ වන විට අනාවරණ කරගෙන ඇත.

තිළිණි ප්‍රියමාලි සිය සැමියා ලෙස සමාජය හමුවේ පෙන්වා දුන් ඇගේ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන සිටි ඉසුරු බණ්ඩාර නමැත්තාට පවා රත්‍රන් බව පවසා සිරිසුමන හිමියන්ගේ විහාරස්ථානයේ තිබුණු පිත්තල පොලු 10ක් ලබාදී තිබී ඇති අතර ඒවායෙන් කොටසක් පිළිමතලාවේ පිහිටි ඉසුරු බණ්ඩාරගේ නිවෙසේ තිබී සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. සිරිසුමන හිමියන් ව්‍යාපාරිකයන්ට අමතරව රටේ ජනප්‍රිය නිළියන් රැසක් සමගද සමීප සබඳතා පවත්වා ඇති බවත්, තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධවී සිට ඇත්තේද එම නිළියන්ගෙන් පිරිසක් බවත් මේ වන විට හෙළිවී ඇත. එසේම උන්වහන්සේ ප්‍රබල ව්‍යාපාරිකයන් මුණගැසී තිළිණි ප්‍රියමාලි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පවසමින් එම ව්‍යාපාරිකයන්ව ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය සඳහා පොලඹවා ඇති බවද විමර්ශනවලදී හෙළිවිය. මෙම කාර්යය වෙනුවෙන් සිරිසුමන හිමියන්ට කරනු ලබන අනුග්‍රහයක් ලෙස තිළිණි ප්‍රියමාලි විසින් උන්වහන්සේගේ කඩවත වෑබඩ පිහිටි අරහත්තක සමාධි අරණ සෙනසුනට විශාල වශයෙන් මුදල් යොදවා විවිධ ඉදිකිරීම් සිදුකරදී ඇති බවද වාර්තා වේ.

මේ අතරThico Group of Companies (Pvt) Ltdහි සුවිශේෂ චරිතයක් රඟදක්වමින් සිටි මෙරට ප්‍රකට කලා පවුලකට සම්බන්ධ කාන්තාවක් වූ ජානකී සිරිවර්ධනද පසුගිය 04 වැනිදා පෙරවරුවේ කොටුව ක්‍රිස් ගොඩනැඟිල්ලේ පිහිටි ඇයට අයත් කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි. ඒ, ඇය තිළිණි ප්‍රියමාලිගේ වංචාවන්ට ඍජුව මැදිහත්ව ඇති බවට දුරකතන සංවාද පරීක්ෂා කිරීමේදී පෙනීයන බව හෙළිවීමත් සමගය. එසේම තිළිණි ප්‍රියමාලි සිදුකළ බව කියන රුපියල් මිලියන 226ක හා රුපියල් මිලියන 80ක මූල්‍ය වංචා 2කට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන්ද ජානකී සිරිවර්ධන සැකකාරියක්ව සිටින්නීය.

ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන සහ තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු සිදුව ඇත්තේ කොළඹ කොටුවේ ක්‍රිස් ගොඩනැගිල්ලේ බවත් ඇයගේ ආයතනයට ඉන්දියාවෙන් මුදල් ලැබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගෙන ඇත. එසේම තිළිණි ප්‍රියමාලි වංචා කළ බව කියන මුදල්, ඇය හමුවේ ආයෝජනය කිරීමට ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් පූර්ණ වශයෙන් පොලඹවා ඇත්තේ ජානකී සිරිවර්ධන බවද විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන ඇති තොරතුරු අතර වෙයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට මාසයකට අධික කාලයක් ගතව ඇතත් තිළිණි ප්‍රියමාලි ප්‍රධාන කොටගත් මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ පැමිණිලි සීමිත සංඛ්‍යාවක් බවත්, තවත් බොහෝ පිරිසක් පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් වෙනත් නඩු 7ක් පවතින බවද අධිකරණයේදී අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ, සැකකාරියගේ නමින් පවතින ගිණුමක පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 300ක පමණ මුදලක් තැන්පත් කර පසුව අවස්ථා කිහිපයකදී යළි ලබාගෙන ඇති බවයි.

තිළිණි ප්‍රියමාලි විසින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය Thico Group of Companies (Pvt) Ltd කාර්යාලය නඩත්තු කටයුතු වෙනුවෙන් පමණක් මසකට රුපියල් ලක්ෂ 41ක මුදලක් වැයකරන බවත්, ඇය විසින් තවත් ආයතන 7ක් පවත්වාගෙන ගොස් ඇති බවත් පසුගියදා අධිකරණයේදී අනාවරණ වී ඇත.

මෙම වංචාවන් හෙළිවූ මුල්ම අවස්ථාවේදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් තිළිණි ප්‍රියමාලි තමාටද රුපියල් කෝටි අටහමාරක මුදල් වංචාවක් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. තමා තිළිණිව දැන හඳුනාගනු ලැබුවේ ඉන්දියානු සමාගමක් විසින් මෙරට සිදුකර ඇති මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක කළමනාකාරිණියක් හරහා බවත්, තිළිණිට මුදල් ලබාදෙන ලෙස තමාව පොලඹවනු ලැබුවේද ඇය විසින් බවත් අසාද් සාලි එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර තිබිණි. තිළිණිට අවශ්‍ය තරම් මුදල් තිබෙන බවත් රත්‍රන්, මැණික් සහ ඉඩම් ඇය සතුව ඇති බවත් එම ව්‍යාපෘති කළමනාකාරිනිය තමාට පැවසූ බවත්, ඇයගේ කීම විශ්වාස කරමින් තමා රුපියල් කෝටි අටහමාරක් තිළිණිට ලබාදුන් බවත් අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබිණි. තමන්ට හිමි ඉඩමක් අලෙවි කිරීමෙන් ලද මුදල් එසේ තිළිණිට ලබාදුන් බවත්, රහත් භික්ෂුවක් බව කියන සිරිසුමන හිමියන් පවා මෙම ගනුදෙනුවේදී අතරමැදියකු ලෙස කටයුතු කළ බවත් අසාද් සාලි සඳහන් කර ඇත. එසේම තම මුදල් ආපසු ඉල්ලා සිටි විට තිළිණි තමාට චෙක්පතක් දුන් බවත්, එම චෙක්පත අගරු චෙක්පතක් බවත් අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. අසාද් සාලිගේ එකී පැමිණිල්ල සමග මේ වන විට තිළිණිට එරෙහි මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියැවී ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා ඉතිහාසයේ කාන්තාවක විසින් සිදුකළ අතිදැවැන්ත මූල්‍ය වංචාව ලෙස තිළිණි ප්‍රියමාලිගේ සිදුවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඇය සිදුකළ මූල්‍ය වංචාවන්ගේ වටිනාකම නිශ්චිතව මෙතෙක් අනාවරණ වී නැතත් ඇය වංචාසහගතව රැස්කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 350ට ආසන්න බව පැවැසේ. ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මේ වන විට රඳවා සිටින අතර පසුගියදා ඇය සන්තකයේ තිබී ජංගම දුරකතන කිහිපයක් අවස්ථා කිහිපයකදීම සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබිණි. තිළිණි සමග එක්ව ව්‍යාපාරිකයන්, දේශපාලකයන් රවටා මූල්‍ය වංචාවන්ට සම්බන්ධ වූ බව කියන ජානකී සිරිවර්ධනද මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. පසුගිය 05 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය ජානකී, එහිදී ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එදිනම මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත. ඒ, තිළිණි ප්‍රියමාලි සහ ජානකී අතර යම් මතභේදයක් හටගෙන ඇති බවට වාර්තා වීමත්, ඔවුන් දෙදෙනා අතර බන්ධනාගාරය තුළදී ගැටුමක් ඇතිවීමට ඇති ඉඩකඩ ඇහිරීමත් සඳහාය. තිළිණි සහ ජානකී එකම බන්ධනාගාරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට හෝ විකෘති කිරීමට දෙදෙනා සැලසුම් කරනු ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මොවුන් නිසා අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන්ට සැක මතුවී තිබිණි. එබැවින් ඔවුන් දෙදෙනා එකම බන්ධනාගාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලීමක්ද එම පාර්ශ්වවලින් ලැබී තිබිණි. තිළිණි සහ ජානකී ඉතා කිට්ටු මිතුරන් ලෙස ඉතා සහයෝගයන් කටයුතු කළත් මෑතකදී දෙදෙනා අතර මුදල් ආරවුලක් මත විරසකයක් ඇතිවී තිබෙන බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරගන්නා හඬ පට කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.

එසේම තිළිණි ප්‍රියමාලිගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණ වෙමින් ඇති බවද සඳහන්ය. ඇයගේ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි එම දුරකතන වාර්තාවලින් ලබාගත හැකි බවත්, එම වංචාවන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඒ අනුව හැකිවනු ඇති බවත් විමර්ශන අංශ විශ්වාසය පළකර සිටී. එම තොරතුරුවලට අනුව මෙරට ප්‍රවීණ සිනමා නළු නිළියන් සමගද තිළිණි ප්‍රියමාලි කිට්ටු සබඳතා පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවෙමින් ඇත. ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරණතුංග මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබිණි. ජීවන් කුමාරණතුංග මහතාගේ ජීවිත කතාව ඇතුළත් කොට නිර්මාණය කෙරෙන ‘ජීවා’ නමැති චිත්‍රපටයට රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් තිළිණි ප්‍රියමාලි වැයකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජීවන් කුමාරණතුංග මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එසේම ජීවන් කුමාරතුංග මහතාගේ බිරිය වන ෂෙරීන් කුමාරතුංග මහත්මිය, තිළිණි ප්‍රියමාලි සමග එක්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් පිළිබඳ ෂෙරීන් කුමාරණතුංග මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.

තිළිණි ප්‍රියමාලි සිදුකළ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 07 වැනිදා පැය 5ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. තිළිණි ප්‍රියමාලි සමග ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමග සිදුකර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර ඇති අතර, එහිදී සංගීතා වීරරත්න මහත්මිය ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් ඇතැම් විට ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සිදුවනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තිළිණි ප්‍රියමාලි සමග සමීප හිතවත්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පැය 4ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එසේම තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙ‍රෙන විමර්ශනයට අදාළව තවත් නවක සහ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ. තවද ජනප්‍රිය රූපවාහිනී නිවේදක යුවලකට නිවෙසක් මිලදී ගැනීමට රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. එම නිවේදක යුවලද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ විවිධ ශිල්පීන්, දේශපාලකයන්, භික්ෂුන්වහන්සේලා ඇතුළු පුද්ගලයන් රාශියක් තිළිණි ප්‍රියමාලි සමග දැන හෝ නොදැන මූල්‍ය වංචාවන්ට ඍජුව දායක වී ඇත. සිනමා ශිල්පීන්ට උපහාර උත්සව සංවිධාන කිරීම, අසරණ කලාකරුවන්ට උදව් උපකාර කිරීම ආදී සමාජ සත්කාර වැඩසටහන් මෙහෙයවමින් ඒ හරහා ගොඩනගාගත් ජනප්‍රියත්වය සහ විශ්වාසය මත විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රබලයන්ද උපයෝගී කරගනිමින් තිළිණි ප්‍රියමාලි මේ වන විට රටේ ප්‍රකෝටිපතියන් ගණනාවක් මහ දහවල් කොල්ලකා ඇත. අප්‍රකට ධනවතුන්ගේ සැඟවුණු මුදල් මෙන්ම ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන්නට හොඳම තැනක් ලෙස තිළිණි ප්‍රියමාලිගේ Thico Group of Companies (Pvt) Ltd ඔවුන් හඳුනාගෙන තිබෙන්නට ඇත. රජය පිළිගත් මූල්‍ය ආයතනවල තැන්පත් කළ නොහැකි කළු සල්ලි මෙවැනි වගකීමක් නැති ආයතනවල තැන්පත් කිරීම හරහා ඔවුන් මේ වන විටත් නීතිය හමුවේ වරදකරුවන් වී හමාරය. කාත්තාවක සතු සුන්දරත්වය ඉතා සූක්ෂ්ම ලෙස තම වංචනික ක්‍රියාවන් සඳහා යොදාගත් තිළිණි ඉන් ද නොනැවතී භික්ෂුන්වහන්සේ නමක් කෙරෙහි රට තුළ ඇති ගෞරවයද කූට ලෙස තම වංචාවන්ට යොදාගෙන ඇති බව මෙම සිදුවීම් දාමය හරහා පැහැදිලිවම හඳුනාගත හැකිය. රූමත් නිළියන් යොදාගෙන ප්‍රබල ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු ධනවතුන් සතු මුදල් තම ආයතනය වෙත ලබාගැනීමටත්, රටේ නමගිය භික්ෂුවක් යොදාගෙන උන්වහන්සේ හරහා තමන්ට චරිත සහතික ලබාගනිමින් තම වංචනික ව්‍යාපාරික අරමුණු ජයගැනීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිගේ නම ලංකා ඉතිහාසයේ ඉහළින්ම සටහන් වනු ඇත.

එදා සක්විති රණසිංහ තම මහාපරිමාණ වංචාවන් සඳහා යොදාගත්තේ එඩ්වින් ආරියදාස නම් වූ සුවිශේෂ දැනුම් සම්භාරයක් ඇති රටේ නමක් දිනාගෙන සිටි ගෞරවනීය පුද්ගලයකුවය. එඩ්වින් ආරියදාසයන්ගේ ගෞරවනීය නමට මුවාවී ඉතිහාසගත වන කොල්ලයක නිරත වූ සක්විති රණසිංහ එම මුදල් සතයක් හෝ ඉතිරි නොවන ලෙස වියදම් කරමින් ආතල් ගත් බව ඔහුම ප්‍රකාශ කළ බව එකල මාධ්‍ය වාර්තා කර තිබිණි. අද තිළිණි ප්‍රියමාලිද එසේමය. තම කාන්තා ලාලිත්‍ය සහ රටේ ජනප්‍රිය පුද්ගලයන් ඉදිරියෙන් තබාගෙන සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් තව තවත් රටට හෙළිවුණත්, ඇය වංචා කළ එම මුදල් සතයක් හෝ නැවත ලබාගැනීමට හැකි වේදැයි යන ප්‍රශ්නාර්ථය පමණක් තවදුරටත් ඉතිරිව තිබෙනු ඇත.



චානක ලියනගේ

SendShareShare
Previous Post

‘SLT-MOBITEL Laptop Fiesta’ ජයග්‍රාහකයන් ඇගයේ…

Next Post

පාතාලය අදත් බිල්ලක් ගනී! දරුවව ගන්න ආ තාත්තට ඉස්කෝලෙ ඉස්සරහදීම වෙඩි තියා මරයි!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.