යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී ස්පෝට්ස් වර්ගයේ ජීප් රථ පහක් ඇතුළු කෙරුණු අතර, සවස් කාලයේදී එක පෙළට එම ජීප් රථ 35 ක් පැමිණ තිබුණා. එක වාහනයකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟ පෙන්වන්නකු බැගින් ලබා දුන්නද, වාහන 35 කට මඟපෙන්වන්නන් 35 ක් ලබාදීම ගැටලුවක් වුණා. ඊට හේතුව වූයේ එතරම් මඟපෙන්වනන් පිරිසක් එහි නොසිටීම යි. මේ නිසා යාල ජාතික වනෝද්‍යානයේ බලධාරීන් මෙම ජිප් රථ පහකට එක් මඟ පෙන්වන්නා බැගින් ලබාදීමටයි කටයුතු කර තිබෙන්නේ.
යාල ජාතික වනෝද්‍යානය ඇතුළත මාර්ගවල දුර කිලෝමීටර් 125ක්. ස්පෝට්ස් වර්ගයේ නවීන ජිප් රථවලින් ගමන් කළ පිරිස සියළු දෙනාම පාහේ තරුණ වයසේ පසු වූ අය.වනෝද්‍යානයයේ සතුන් බලනවාට වඩා සිය වාහන වලින් වැඩ පෙන්වීම මේ අයගේ අවශ්‍යතාව වී තිබුණා. මෙම පිරිස අතර කැබිනට් ඇමැතිවරයෙකුගේ පුතෙකු සිටි බවත් ඇතැම් අය පවසනවා. ජිප් රථ හතක පිරිස යාල මාර්ගවලින් පිටතට ගොස් සතුන් ගැවසෙන ප්‍රදේශවල වාහන ධාවනය කළේ ට්‍රැක්ටර්වලින් කුඹුරු හාන පරිද්දෙන් බව ඇතැම් මාධ්‍ය පවසා තිබුණා. යාල වනජීවි බලධාරීන් කියා සිටින්නේ මඟපෙන්වන්නන්ගේ (Trackers) උපදෙස් නොතකා මෙම පිරිස වාහන ධාවනය කර ඇති බවයි. යාල ජීවත් වන ස්ට්‍රෝබෙරි නැමැති කොටි දෙන සහ ඇගේ පැටවුන් තිදෙනා ජීවත් වන්නේද මෙම කලාපයේ බවයි යාලින් ලැබෙන වාර්තා පවසන්නේ.
මෙම පිරිස ජිප් රථ පදවා ඇත්තේ ස්ට්‍රෝබෙරි කොටි දෙන සහ ඇගේ පැටවුන් තිදෙනාමෙන්ම අනෙක් සතුන් පිළිබඳවත් කිසිඳු සැලකිල්ලක් නොදක්වමින්.
“ඔය කියන දවසේ වාහන පහක් යාල කලාප අංක දෙකට උදේ ගියා. වාහන එක්ක සංචාරක Trackersලා තුන් දෙනෙක් යැව්වා. කලාප අංක දෙකට යන්න වෙලාව මදි වෙලා හවස තවත් ජිප් තිස් පහක් (35) ආවා. ඒ වාහන වලට වෙන වෙනම පාස් 35ක් දුන්නා. ඒ වාහන තිස් පහට Trackersලා තිස් පහක් දෙන්න අපිට නෑනේ. ඒ හින්දා එක් කෙනෙකුට වාහන පහ බැගින් බාර දුන්නා. මේ ජීප්වල ආ පිරිස මඟදී වෙනත් මාර්ගවල ගිහින් තියෙනවා. මේ අය අතරින් හත් දෙනකු සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් මඟහැරලා ගිහින් සතුන්ගේ හැසිරීමට බාධා වන ආකාරයට වාහන පැදලා.
යාලට ආවේ “අයන් මෑන්“ කියන ඕෆ් රෝඩ් යන ටීම් එක. ඒ අය රටේ විවිධ ප්‍රදේශවල අය. පාර්ක් එක බලන්න එද්දී අපිට බැහැ කාටවත් එන්න එපා කියන්න. මෙතන ප්‍රශ්නේ මේ කට්ටිය කැලේ ඇතුළට ගිහින් හාපු එක” යැයි යාල ජාතික වනෝද්‍යානයයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න පවසනවා.
මේ කියන ‘අයන් මෑන්’ ආයතනයේ හිමිකරු වන සෑම් චන්ද්‍රසෝම කියන්නේ මෙම සිද්ධිය වූ දිනයේදී තමාද යාල ජාතික වනෝද්‍යානයේ සිටියත් මේ සිද්ධිය සම්බන්ධව තමාගේ හෝ තම ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි.
“කට්ටියක් ගිහින් හාලා තියෙනවා. මේ කියන වාහන පාර්ක් එකට විධිමත්ව ඇතුළු කරලා තිබෙනවා.නමුත්,පාර්ක් එක ඇතුළේදී හැසිරුණු ආකාරය ගැනයි ප්‍රශ්නය තියෙන්නේ. නැතුව මේ ගොල්ලෝ පාර්ක් එකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා නෑ. පාර්ක් එක ඇතුලේදී අවිධිමත්ව හැසිරිලා තියෙනවා. සමහරු කියනවා මේ කණ්ඩායමට පාර්ක් එකට වාහන ඇතුළු කරන්න මම අවසරය දුන්නා කියලා. මම අවසරයක් දීලා නෑ. හැබැයි අපේ නිලධාරිනුත් දැනගන්න ඕනේ ප්‍රශ්නයක් වුණාම ඒ ගැන අපිව කියන්න. මේ පිරිස පාර්ක් එකෙන් පිටවෙලා ගිහින් මේ වැඩේ ෆේස් බුක් එකේ දැම්මාට පස්සේ තමයි සිද්ධිය එලියට ආවේ” යැයි වනජීවි අධ්‍යක්ෂක චන්දන සූරියබණ්ඩාර කියනවා.










