මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක ම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එම සැකකරුවන් තිදෙනා ගලේවල ප්‍රදේශයේ බස් රථයක ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (ඔක්. 6) උදෑසන 7.00ට පමණ වෙඩි තැබීමක් සිදු ව ඇති අතර එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, එක ම පවුලේ 56 හැවිරිදි පියෙකු සහ 23 සහ 24 හැවිරිදි වියේ පසුවන පුතුන් දෙදෙනෙකි.
පොලිසිය සඳහන් කළේ, ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව ය.
පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි වැදීමට ලක්වූ පියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.










