ශ්‍රි ලංකාවේ සෑම ආදායම් උපදවන්නකුගේම රජයෙන් ලැබෙන බදු සහන සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ක සීමාව දක්වා පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන සෑම පුද්ගලයකුගෙන්ම අවම වශයෙන් 6%ක බද්දක් අය කර ගැනීමට නියමිතය.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැබිනට් අනුමැතියෙන් අනතුරුව මෙම තීරණය ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බදු අයකිරීම පසුගිය රජය කාලයේද පැවති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුව සිදුකෙරුණු බදු සංශෝධනයේදී උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු කිහිපයක්ම කප්පාදුවකට ලක් කෙරුණි. ඒ අනුව පෞද්ගලික ආදායම බදු අයකිරීම් සීමාව වාර්ෂික ආදායම සීමාව මිලියන 3ක් දක්වා ඉහළ නැන්විණි.
එසේ වුවද මෙම බදු වැඩිකිරීම සම්බන්ධයෙන් 2022 මැයි මස 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අදාළ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8ක් දක්වා අඩු කිරිමට තීරණය කෙරුණු අතර එයද සංශෝධනය කරමින් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක් (මිලියන 1.2ක්) ඉක්මවා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් (දළ වශයෙන් මාසිකව 41,700)ක් දක්වා උපයන පුද්ගලයන්ගේ අදාළ ඉපයීමෙන් 6%ක ආදායම් බද්දක් ගෙවිය යුතු වේ. එතැන් සිට වාර්ෂිකව උපයන මුදලින් වැඩිවන සෑම මිලියන 5කටම පිළිවෙළින් සියයට 12, 18, 24, 30 සහ 36ක් ලෙස බදු එකතු වෙයි.
මේ අනුව මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබන සෑම පුද්ගලයකුගේම වැටුපින් 6% සිට 36% දක්වා පරාසයක ආදායම් බද්දක් ලබන ඔක්තෝබර් මාසයේ සිට අයකෙරනු ඇත.
පසුගියදා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එලඹුණු මූලික කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාස 48ක කාලයක් සඳහා එම අරමුදලෙන් ලබාදෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ අතර මෙම බදු සංශෝධනයද ඇතුළත් වේ.
මෙයට අමතරව රඳවා ගැනීමේ බද්දෙහිද සංශෝධන සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
lankasara










