ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට වුවමනා නම් ඔහු වෙනුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ නන්දලාල් වීරසිංහ මහතා ගත් තීරණ මත අද ජනතාවට ප්රතිලාභ ලැබෙන බවයි.
එවන් නිර්භීත තීරණ ගන්නා මිනිසුන් තියා ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී එල්ල වූ චෝදනා පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කලේ එවකට මුදල් ඇමති වශයෙන් තමන්ගේද, හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම තවත් විශාල පිරිසකගේ අනුමැතිය මත බවත් ඔහු පැවසීය.
“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.”










