‘ප්රජාතන්ත්රවාදයේ දෙවඟන’ නොහොත් ප්රජාතන්ත්රවාදයේ දේවතාවිය (Goddess of Justice or Lady of Justice) ගැන වූ වගතුගක් පමණි. එනම් ලොව වටා නීතිය ඇති ස්ථානවලදී එම රුවක් හෝ පිළිරුවක් හෝ අපට නිරන්තරයෙන්ම දක්නට හැකිය. එහෙත් එසේ නම් මෙම ප්රජාතන්ත්රවාදයේ දෙවඟන ඉන්නේ කොතැනකද? මෙය සැබැවින්ම සුවිශේෂ කතාන්දරයකි. දෙනෙත් අදහාගත නොහැකි මෙම විස්මිත නිර්මාණය විරාජමාන වන්නේ අසියාවේ දේශයක් තුළිනි. මීටර් 6.4ක් (අඩි 21ක්) උසැති සම්පූර්ණයෙන්ම තඹවලින් නිර්මාණය කරන ලද මෙම පිළිරුව ගොඩනැඟුණේ හොංකොං දේශයේ අග නගරය තුළය. එනම් එම නගරයේ ඇති විශාලතම විශ්වවිද්‍යාලය වන ‘හොංකොං චීන විශ්වවිද්‍යාලය ඇති භූමිය තුළ මෙම නිර්මාණය ගොඩනැගුණේ 2008 වසරේදීය. දුටු සැණෙන් දෙනෙත් වශීකරවන මෙම අපූරු නිර්මාණය තුළින් පෙන්නුම් කරන්නේ එක් අතකින් ගිනිසිළුවක් සහ අනෙක් අතින් පොත් මිටියක් ගත් තරුණ කාන්තාවකගේ රුවකි.
සැබැවින්ම මෙම කතාන්දරය කුමක්ද? මෙම සුවිශේෂ පිළිරුව හොංකොං විශ්වවිද්‍යාලය තුළ ගොඩනැගුණේ යම් ඓතිහාසික සිදුවීමක් අනුස්මරණය කිරීම සඳහාය. එනම් ලෝකයේ විශාලතම සිසු අරගලය ලෙස ඉතිහාසයට එක්වුණු 1989 වසරේදී චීනයේදී පැවැත්වුණු ‘ටියනාන්මෙන් චතුරස්රයේ විරෝධතා සහ සමූල ඝාතනය’ (Tiananmen square protests and massacre) යන ඓතිහාසික සිදුවීම සිහිවීම උදෙසාය. සිසුන්, සාමාන්‍ය ජනතාව සහ හමුදා සාමාජිකයන් දහස් ගණනක් ඝාතනයට පත්වූ මෙම ශෝචනීය සිදුවීම මාස දෙකකට ආසන්න කාලයක් පුරා පැවැත්විණි. චීනයේ ඒකාධිපති සහ අන්තවාදී කොමියුනිස්ට් පරිපාලනයට එරෙහිව මෙම මහා උද්ඝෝෂණය පැවැත්විණි.
කෙසේ හෝ මෙම මහා සිසු අරගලය සිදුවන කාලය තුළදී චීනයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් චීනයේ අගනුවර වන බෙයිජින් නගරය තුළ පිහිටා තිබෙන මෙම ‘ටියනාන්මෙන් චතුරස්‍රය’ තුළ ‘ප්රජාතන්ත්රවාදයේ දෙවඟන’ මුල් පිළිරුව ඉදිකරන ලදී. එය කඩදාසි පල්ප අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් මීටර් 10ක් උසට නිර්මාණය කර ඇත. එහෙත් මෙම දර්ශනීය පිළිරුවට එතැන තිබෙන්නට හැකිව ඇත්තේ දින 05ක් පමණක් වන අතර, චීන විමුක්ති යුද හමුදාව පැමිණ එය විනාශ කර දැමූහ. එතැනදී මෙලෙස විනාශ කළ පිළිරුව සහ එම මිනිස් සංහාරය මෙන්ම අරගලයද සිහිකිරීම සඳහා පසුව 2008 වසරේදී හොංකොං විශ්වවිද්‍යාලය තුළ තඹ ලෝහයෙන් ස්ථාවර පිළිරුවක් නිර්මාණය කළේය. එහෙත් එතැනින් පසුව ඇතිවූයේ තවත් විපරීත කතාන්දරයකි. එනම් චීනයේ පරිපාලනය යටතේ ඇති හොංකොං දේශය තුළ මහා සිසු අරගලයක් 2019 වසරේදී ආරමභ විය. එම අරගලය 2020 වසර දක්වාම එක දිගටම පැවැත්වෙන්නට වූ අතර තත්ත්වය දිනෙන් දින උත්සන්න විය. මෙහිදී පුද්ගලයන් 29 දෙනකු මරණයට පත්වූ අතර 2,600ක පමණ පිරිසක් තුවාල ලැබූහ. 10,300ක පමණ පිරිසක් හමුදා අත්අඩංගුවට ගන්නා ලදී.
දැන් මෙවැනි ශෝචනීය වටපිටාවකදී ප්රජාතන්ත්රවාදයේ දෙවඟනට සිදුවූයේ කුමක්ද? මෙම අපූරු සුරූපී දෙවඟන 2008 වසරේදී විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කිරීමෙන් පසුව බොහෝ රාජ්‍ය බලධාරීන් ඒ දෙස බලන්නට ගත්තේ වපර ඇසිනි. එයට හේතු වූයේ හොංකොං දේශය තුළ දේශපාලනය සිදුවන්නේ චීනයේ රාජ්‍ය පරිපාලනය යටතේ වීම නිසාය. හොංකොං තුළද රාජ්‍ය පාලන තන්ත්රයක් තිබුණද ඔවුන් යටත් විය යුත්තේ චීනයේ ප්‍රධාන පාලන තන්ත්රයටය. ඉතා දරුණු ගණයේ කොමියුනිස්ට් පරිපාලනයක් ඇති චීනය නිරන්තරයෙන්ම ප්රජාතන්ත්රවාදය ගැන ඇත්තේ දැඩි බියකි. මේ නිසා ඔවුන් දිවා රාත්‍රියේදීම මෙම අපූරු ප්රජාතන්ත්රවාදයේ දෙවඟනටද දැඩි බියකින් පසුවන්නට ගත්තේය. මෙම සුවිශේෂ පිළිරුව විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කිරීමට ප්‍රථම එය සිසුන්ගේ රැලියක් මගින් නගරය පුරා ගෙනගියේය. එහිදී එක් හෝරාවක් ගතවත්ම වහා හොංකොං පොලිසිය මෙම රැලියට කඩාපැන දෙවඟනගේ පිළිරුව සිය භාරයට ගත්හ. ඉන් පසු දින ගණනක් යන තුරු එම පිළිරුව සිසුන් වෙත භාර නොදුන් අතර එම නිර්මාණයට හානි වීමද සිදුව තිබිණි. කෙසේ හෝ දින ගණනාවක දැඩි අරගල මධ්‍යයේ බලධාරීන් පිළිරුව නැවත සිසුන් වෙත භාරදෙන ලදී. ඉන් පසුව විශ්වවිද්‍යාල බලධාරීන්ගේද විරෝධය මත කෙසේ හෝ සිසුහු විශ්වවිද්‍යාලය තුළ පිළිරුව ස්ථාපිත කළහ.
මේ ආකාරයට මහත් ආන්දෝලනාත්මක පසුබිමක් මත ප්රජාතන්ත්රවාදයේ දෙවඟන වසර 14ක් පුරා හොංකොං විශ්වවිද්‍යාලය තුළ ජීවත් වූවාය. මේ අතර මෙම කාලය තුළම රාජ්‍ය බලධාරීන් කුරුමානම් ඇල්ලුවේ කෙසේ හෝ යම් දිනයක මෙම පිළිරුව විනාශ කර දැමිය යුතුය යන අදහසකිනි. කෙසේ හෝ වසර 14කට පසුව එම මූසල දිනය පසුගිය 2021 දෙසැම්බර් 24 වැනිදා පැමිණියේය. හරියටම නත්තල් දිනයට පෙර දා රාත්රියේදී හොංකොං ආරක්ෂක බලධාරීන් විසින් දැඩි හමුදා මෙහෙයුමක් යටතේ පිළිරුව විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන ලදී. ඉන් පසු පිළිරුව තිබෙන ස්ථානයක් ගැනද වාර්තාවක් නොවූ අතර එය කැබැලිවලට කපා රහසිගතව විනාශ කළ බවද වාර්තා විය. එසේම මෙම සුවිශේෂ පිළිරුව නිර්මාණය කළ අතිශය ප්‍රකට චීන මූර්ති ශිල්පියකු වූ චෙන් වෙයිමින් හටද නොයෙකුත් තහංචි පනවන ලදී. මොහු ලෝකයේ වෙනත් රටවලද මූර්ති නිර්මාණය කරන ලෝප්‍රකට නිර්මාණකරුවකු වන අතර ඔහුට විවිධ වීසා තහංචි පැනවීමටද චීන බලධාරීන් කටයුතු කළේය. කෙසේ හෝ චීන බලධාරීන්ගේ මෙම කෲර ක්‍රියාවන් හමුවේ පසුගිය කාලයේ සිසුන් විශ්වවිද්‍යාලය තුළට ප්රජාතන්ත්රවාදයේ දෙවඟනගේ කුඩා මූර්ති රැගෙනවිත් ගෞරව කිරීම සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේද සිසු අරගල ඉතා උච්ච සමයකදී ඔබට මෙම හොංකොං දේශයේ සිසු අරගල ගැනද ලියා තැබුවේ එයද ලෝක ඉතිහාසයට එක්වූ සුවිශේෂ වගතුගක් හෙයිනි. 2019-2020 වසරවලදී එසේ පැවැති අරගල බොහොමයක් චීන රාජ්‍ය පරිපාලනය විසින් මර්දනය කරනු ලැබුවේය. එහෙත් එම ගිනි ජාලාව සම්පූර්ණයෙන්ම නිවීගොස් නැති අතර තවද විටින් විට සිසු අරගල එම දේශය තුළ ඇතිවෙයි. 2019-2020 වසරවලදී මෙම අරගල මුලින්ම ඇතිවූයේ යම් රාජ්‍ය පනතකට එරෙහිවය. එය පිටුවහල් කිරීම් නීති සංශෝධන පනත් කෙටුම්පතයි. සාපරාධී කාරණා සම්බන්ධයෙන් පලාගිය වැරැදිකරුවන්ට අදාළව ක්‍රියාත්මක වන පිටුවහල් නීති රීති සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතක් ලෙස මෙය හැඳින්වේ. චීන කොමියුනිස්ට් අන්තවාදී රාජ්‍ය පාලනයට එරෙහි වන කණ්ඩායම්වලට විරුද්ධව ප්‍රබල ලෙස දඬුවම් පමුණුවනු ලබන පනතක් ලෙස මෙය ප්‍රකට විය. එහෙයින් බහුතරයක් තරුණ පිරිස් මෙම ක්‍රියාවලියට එරෙහිව තම අරගලයක් දියත් කළහ. විශ්වවිද්‍යාල සිසුන්, විද්වතුන්, මවුපියන් මෙන්ම පොදු ජනතාවද දස දහස් ගණනින් මෙම විරෝධතා සඳහා එක්වූහ.
මෙහිදී මෙම විරෝධතාවන් මෙහෙයවීම සඳහා Anti-Extradition Law Amendment Bill Movement (පිටුවහල් කිරීම් විරෝධී නීති සංශෝධන පනත් කෙටුම්පත ව්‍යාපාරය) යනුවෙන් සුවිශේෂ ව්‍යාපාරයක් හොංකොං දේශය තුළ බිහිවිණි. සම්පූර්ණ වසරක් පුරා එරට තුළ අරගල මෙහෙයවනු ලැබුවේ මෙම ජනතා ව්‍යාපාරය මගිනි. එය හොංකොං ඉතිහාසය තුළ පැවැති විශාලතම විරෝධතා පෙළපාළි මාලාව ලෙස සැලකෙයි. මෙම පෙළපාළි සමහරක් පවත්වනු ලැබුවේද 2020 වසරේ කොරෝනා වසංගතයද උච්ච සමයේදීය. මෙහිදී විරෝධතාකරුවෝ ප්‍රධාන ඉල්ලීම් 05ක් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. ඒවා මෙසේය.
- පිටුවහල් කිරීමේ පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීම සහ අහෝසි කර දැමීම.
- විරෝධතාවන් කැරැලි ලෙස හැඳන්වීම ඉවත් කර ගැනීම.
- අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් නිදහස් කිරීම සහ නිදොස් කිරීම.
- පොලිසියේ හැසිරීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීම.
- හොංකොං පරිපාලක කැරී ලැම් ඉල්ලා අස්වීම සහ මැතිවරණයක් පැවැත්වීම.
කෙසේ හෝ මෙම ඉල්ලීම් සියල්ලම ලබාදීමට රාජ්‍ය බලධාරීන් කටයුතු නොකළද, පනත් කෙටුම්පත අදාළ ප්‍රධාන ඉල්ලීම ඉටුකිරීමට කටයුතු කළේය. එනම් විරෝධතා මධ්‍යයේ 2019 ජුනි 15 වැනිදා යටකී කෙටුම්පත අත්හිටුවන ලද අතර, 2019 ඔක්තෝබර් 23 වැනිදා එය නිල වශයෙන් ඉල්ලා අස්කර ගන්නා ලදී. එසේම හොංකොං මැතිවරණ ක්‍රමයටද සංශෝධන සහ ප්‍රතිසංස්කරණ ගෙන එන ලදී. කෙසේ වෙතත් මෙම අරගල තිබුණු මුළු කාලය පුරාම හොංකොං ප්‍රධාන රාජ්‍ය පරිපාලකවරිය වූ කැරී ලැම්ගේ ඉල්ලා අස්වීමක් කෙසේවත් සිදුවූයේ නැත. කැරී ලැම් යනු දැනට 65 වැනි වියෙහි පසුවන චීන ජාතික කාන්තාවකි. හොංකොංහි ප්‍රධාන රාජ්‍ය පාලකයා හැඳුන්වනු ලබන්නේ ‘ප්‍රධාන විධායක’ ලෙසින් වන අතර එම තනතුර යටත් වන්නේ චීනයේ ජනාධිපතිවරයා යටතටය. එනම් වත්මන් චීන ජනාධිපති ෂී ජින් පින්ගේ අධීක්ෂණය යටතටය. හොංකොං පරිපාලකයාට යම් තනි තීරණ ගැනීමට බලයක් ඇතත් ඒ කටයුතු සියල්ල චීනයේ විධායකය යටතට නතුවෙයි. කෙසේ හෝ කැරී ලැම් පරිපාලකවරිය 2017 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 දක්වා වසර 05ක් මෙම තනතුරෙහි කටයුතු කළාය.
හොංකොං දේශය යනු මහජන චීන ජනරජයේ විශේෂ පරිපාලන කොට්ඨාසයක් වෙයි. චීනයේ පහත කොටසට භූමියෙන් බද්ධ වී ඇති දූපත් රාජ්‍යයක් ලෙස මෙය සිතියම් තුළින් දිස්වෙයි. මෙම දේශය ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ Hongkong – A Special Administrative Region of the People’s republic of China ලෙසිනි. හොංකොං දේශය යනු ලෝකයේ ඉතා කුඩා රාජ්‍යයක් වන අතර එහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,704කි. මෙහි ජනගහනය ලක්ෂ 75ක් පමණ වාසය කරන අතර 92%ක්ම චීන ජාතිකයන්ය. කෙසේ හෝ මෙම දේශය ලෝකයේ ධනවත් රාජ්‍යවලින් එකක් වන අතර මෙහි ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 49,850ක ඉතා ඉහළ අගයකි. එහෙත් චීනයේ ඒකපුද්ගල ආදායම වන්නේ ඩොලර් 14,096ක් පමණ වෙයි. මෙයට හේතුව වන්නේ හොංකොං දේශය තුළ ජාත්‍යන්තර කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, විශාල වරායන්, ආනයන සහ අපනයනය ආදී කටයුතු සාර්ථකව සිදුකිරීමය. ඒ නිසා හොංකොං ආර්ථිකය ඉතා ඉහළ මට්ටමක පවතියි. 2022 වසරට අනුව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 522ක් ලෙස සඳහන් වෙයි.
කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ හොංකොංහි ජනතාව අරගල කරන්නේ කන්න බොන්න ඉල්ලා හෝ ඉන්ධන, ගෑස්, ඖෂධ ඉල්ලා හෝ නොවේ. ඔවුහු වෙනත් විවිධ අයිතිවාසිකම් උදෙසා සටන් වදිති. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද? අපේ මිනිසුන් පාලකයන්ට එරෙහිව අරගල කරන්නේ කන්න බොන්න ටිකක්, ඉන්ධන ටිකක් ඉල්ලා හඬාවැලපෙමිනි. මෙය කෙතරම් ශෝචනීය තත්ත්වයක්ද? අද අපේ රටේ අසරණ මිනිසුන් අරගල කරන්නේ හාල් කිලෝවක්, පාන් ගෙඩියක් මිලදී ගන්නට නැතිකමටය. එහෙයින් හොංකොං අරගලත්, ශ්‍රී ලංකාවේ අරගලත් බොහෝ වෙනස්කම් රැසක් ඇති ඒවාය. කෙසේ හෝ පොදුවේ ගත් කල ජන අරගල ලෙස සැලකිය හැකිය. ජන අරගල ලෝකයේ රටවල් තුළ දියත් වන්නේ කුමන හෝ මිනිස් අයිතිවාසිකම් දිනාගැනීම උදෙසාය.
හොංකොං දේශය යනු වසර 156ක් පුරා බි්රතාන්ය පරිපාලනය යටතේ තිබී නැවත 1997 වසරේදී චීනය වෙත පරිපාලනය ලබාදුන් රටකි. එරට තුළ ජනතා මර්දනය බොහෝ විට සිදුවන්නේ ඉන් පසුවය. මෙහිදී බොහෝ විට සිදුවන්නේ චීනයේ ප්‍රධාන කොමියුනිස්ට් පරිපාලනය යටතේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමය. මෙය වත්මන් චීන රාජ්‍ය පරිපාලකයන් විසින් සිදුකරනු ලබන දුෂ්ට අධිරාජ්‍යවාදී ප්රතිපත්තියකි. අද වන විට චීනය, ශ්‍රී ලංකාවට සිදුකර ඇත්තේද ඒ ටිකමය.

ප්‍රියන්ත හෙට්ටිගේ










