ගෝඨභය – වික්‍රමසිංහ ආණ්ඩුවේ (එසේ නැතහොත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන පොදුජන පෙරමුණු ආණ්ඩුවේ) දීර්ඝ කාලයක් තිස්සේ අරඇන්ද විසි දෙවැනි (22-ඒ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත 2022 ජූනි 29 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකරනු ලැබිණි. ඒ අනුව දින හතක ඇවෑමෙන් එම පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කළ හැකි වේ. එසේ ඇතුළත් කළ පනතට එරෙහිව පුරවැසියන්ට හෝ පුරවැසි සංවිධානයකට හෝ එය අභියෝගයට ලක්කර අධිකරණයේ නඩුවක් ගොනුකළ හැකිය. මක්නිසාදයත් මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට හේතුකාරක වන බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බැවිනි.
එහිදී පැනනැඟෙන ප්‍රශ්නය නම් මේ සඳහා පැවැත්විය යුතු වන්නා වූ ජනමත විචාරණයේදී රටේ මහජනතාව සිය කැමැත්ත ප්‍රකාශ කරනු ලැබේද යන්නය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිත්ත්වය දරන රාජකාරි ධුර කාලයෙන් මේ වන විට පළමු අඩක කාලය නිමකර ඇත්තේය. ඉදිරි මාස විස්සක කාලය තුළ රට සංවර්ධනය කිරීම උදෙසා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් 20 (ඒ) ජනාධිපති බලතල ඉතාම අවශ්‍ය බව පොදුජන පෙරමුණ කියන්නේය.
එහෙත් ගතවූ කාලයේදී ඒ බලතල යටතේ සිදුවූ වින්නැහිය මේ රටේ මහජනතාවට අමුතුවෙන් විස්තර කළයුතු නොවන්නේමය. ගාලුමුවfදාර පිටියේ නිර්පාක්‍ෂික අරගලකරුවනට පොදු පෙරමුණු ආණ්ඩුවේ බලවන්තයන්ගේ සම්පූර්ණ ආශීර්වාදය ලද බව පැහැදිලිවම පෙනෙන්නට තිබූ මැරයන් විසින් පහරදෙනු ලැබීමේ සිද්ධියෙන් පසුව අගමැති මහින්ද රාජපක්‍ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවී සිටින්නට නොහැකි වූවේය.
ගැහැනියක් මිනිහෙක් කරන්නට පමණක් බැරි තරමේ බලයක් ඇති බවට හඳුන්වනු ලැබ ඇති ජනාධිපති ධුරය දරන්නකුට ඒ ප්‍රහාරය හෝ ඊට සමගාමීව රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වයේ බිහිසුණු “රැල්ල” හෝ වළකාලන්නට නොහැකි වූ බව සමස්ත රට වාසීහු පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවද “කරතලා මලක් සේ” ප්‍රත්‍යක්‍ෂ කරගත්හ.
රාජපක්‍ෂ කෙරුම්පොජ්ජ
ඒ අවස්ථාව වන විට “දතකට පූට්ටු”ව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයේ වැදගත්කම සිහිවිය. එපමණක්ද නොව විධායක ජනාධිපති ක්‍රමයෙන් බැහැරව පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයට කැමැති බවට ඉඟිද පළ කෙළේය. මේ කරුණු දෙකම (ජනාධිපතිගේ බලය අඩුකිරීම සහ පාර්ලිමේන්තුව බලගැන්වීම) නිර්පාක්‍ෂික අරගලකරුවන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජනතාවගේ ඒකායන ඉල්ලීමය. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තේරුම් කේන්ද්‍රය (Centre for Policy Alternatives) විසින් 2021 ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලයේදී පැවැත් වූ සමීක්‍ෂණයක දී අනාවරණ වූයේ සියයට පනහයි දශම තුනක් (50.3%) රටේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය යන මතයේ සිටින බවයි.
එහෙත් ඒ කරුණ පිළිබඳ 2022 අප්‍රේල් මාසයේදී පවත්වන ලද සමීක්‍ෂණයේදී අනාවරණ වූයේ සියයට හැත්තෑහතරක් (74%) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය කියන මතයේ දැඩිව එල්බගෙන සිටින බවයි. මේ වසරේ ජූනි මාසයේ පවත්වන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵලයට අනුව ආණ්ඩුවට ඇති කැමැත්ත සියයට තුනක් (3%) බව හෙළිවිය.
ඔන්න ඔය අතරවාරයේ ගෝඨා සහ පොහොට්ටු පක්‍ෂය අතිසූක්‍ෂ්ම සැලසුමක් ගැසුවෝය. ඒ, රනිල් වික්‍රමසිංහට අගමැතිකම දීමය. එහි එක් අරමුණක් අරගලකරුවන් “අංඤකොරොස්” කිරීමය.
කවුරු මොනවා කීවත් රාජපක්‍ෂලාගේ “කෙරුම්පොජ්ජෙන්” ඇද වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගැනීමට හැකි අන්දමේ “මැජික් යෂ්ටියක්” රනිල් අතේ ඇති බවට විශ්වාසයක් රටේ පක්‍ෂ විපක්‍ෂ කොයි කාගේත් සිත්සතන් තුළ නම් සුළු වශයෙන් හෝ තිබූ බව සැබැවි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා පත්කරනු ලැබිය යුතු වීමේ වගන්තිය වනාහි පාර්ලිමේන්තුව බලාත්මක කිරීමකි. එසේම අගමැතිවරයා ඉවත්කිරීමේ බලයක්ද ජනාධිපතිවරයාට නොවිණි.
මෛත්‍රීපාලගේ ගුණ්ඩුවයි කරුගෙ අංචියයි
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව එවක අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහයන් ධුරයෙන් ඉවත් කරනු ලැබීම දින 52 ආණ්ඩු අර්බුදයට හේතුපාදක වූවේය. 20 – ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 19 වැනි සංශෝධනයේ තිබූ ප්‍රජා (තන්ත්‍ර) හිතකාමී සාධනීය වගන්ති ගිලිහී ගොස් ඇත.
ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතුය යන වගන්තිය හැලී තිබීම නිදසුනකි. අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුය යන්න යළි ඇතුළත්ව තිබීම වනාහි ජනපතිගේ බලය වැඩිකිරීමකි.
ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කරනු ලබීම සඳහා අගමැතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කළ යුතු බව 22-ඒ සංශෝධන පනතට ඇතුළත්ය. එහෙත් එය ක්‍රියාත්මක කෙරෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ධුර කාලයෙන් පසුවය. ඊට හේතුව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නැති බවට ජනාධිපතිගේ හිතලුවය. ඒ නිසා මේ ජනාධිපති ධුර කාලය තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපති අත රඳවාගැනේ.
19 – ඒ ප්‍රකාර අගමැතිවරයා ඉවත්කිරීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. බලයේ පවත්නා ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට එරෙහිව හෝ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ කල්හි හෝ අයවැය ලේඛනය පරාජය වූ කල්හි හෝ අමාත්‍ය මණ්ඩලය වගන්ති 48(2) ප්‍රකාර ඉවත්වීමක් නොවන්නේය. එතකුදු වුව ඇතැමුන් පවසන අන්දමට නීත්‍යනුකූල නොවන අන්දමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් අගමැති ධුරයෙන් ඉවත්කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්‍ෂ ඒ ධුරයේ පිහිටුවනු ලැබිණි. ඒ පත්වීම සම්බන්ධයෙන් ඒ වන විට අධිකරණ නියෝගයක් හෝ නොවූයෙන් ඒ අවස්ථාවේ කරු ජයසූරිය කතානායකවරයා විසින් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා වශයෙන් පිළිගනු ලැබුවේය. එබැවින් මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේදී අගමැති අසුන පිරිනැමූ කතානායක කරු ජයසූරිය “ගරු අගමැති” වශයෙන්ද ඇමතුවේය. ඒ සමගම පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ කල්හි කතානායක කරු ජයසූරිය “ගරු මන්ත්‍රීතුමා” ලෙස මහින්ද රාජපක්‍ෂට ඇමතුවේය. සිදුවුණේ කුමක්ද යන්න නොදත් මහින්ද රාජපක්‍ෂ කරකවා අතහැරියා සේ වූවේය.
අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ සෙසු ඇමැති ඝනයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරෙන්නේ කෙසේද යන්න 48(2) වගන්තිය 20-ඒ සංශෝධනයේ 49(2) යටතේ පැහැදිලිව දක්වා ඇත. අගමැති ඉවත් කිරීමේ බලය ජනාධිපතිට හිමි කෙරෙන්නේ ඇයි? ජනාධිපති විසින් ඉවත්කරනු ලැබූ අගමැතිවරයකු වෙනුවට පත්කරනු ලබන තැනැත්තා (ආදේශකයා) අරබයා අධිකරණයට ගියද පිළිතුරක් නොලැබෙන හෙයිනි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කිරීම ගැන නොදන්නා කෙනකු නැත. මෛත්‍රීපාල සිරිසේන සමග හෝ මහින්ද රාජපක්‍ෂ සමග හෝ සිටි සමහර මන්ත්‍රීවරුන් යම් දිනෙක රනිල් වික්‍රමසිංහ සමග සිටිනු දක්නටද බැරි නැත.
49(2) වගන්තිය පරිදි අගමැති ඉවත්කිරීමේ බලය ජනාධිපති සතු කිරීම විවාදාත්මකය. ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ප්‍රකාරව සමානාත්මය සහ සමානාත්මතාව ආරක්‍ෂා කිරීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව 3 වගන්තිය අනුව පාර්ලිමේන්තුව සහ මහජන පරමාධිපත්‍යයද හෑල්ලු කරන්නකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු ධුරයට පත්ව වසර හතර හමාරක් ගත වූ විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත ඇතිව පවත්නා ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය ලැබේ.
20-ඒ සංශෝධනය පරිදි ජනාධිපතිවරයකු ධුරයට පත්ව මුල් අඩක කාලය ගතවූ විට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි අනුමැතියෙන් ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය හිමිවේ. එහෙත් 22-ඒ පරිදි එවන් තත්ත්වයක් නැත. 19-ඒ අන්දමට කතානායක, අගමැති සහ විපක්‍ෂ නායක යන තිදෙනා නිල බලයෙන්ම ව්‍යවස්ථාමය කොමිටියේ (Constitutional Council) සාමාජිකත්වය ලබන්නාහ.
ජනාධිපතිවරයාට එක් මන්ත්‍රිවරයකු නම්කිරීමට හැකි වන්නේය. විපක්‍ෂ නායකවරයා සමග එක්ව පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නායකයන්ගේ සහ ස්වාධීන කණ්ඩායම්වල කැමැත්ත ඇතිව පස්දෙනකු පත්කිරීමේ බලය අගමැතිවරයාට තිබේ. ඒ පස්දෙනාගෙන් දෙදෙනකු පර්ලිමේන්තු මන්ත්‍රීවරු විය යුත්තෝය. අනෙක් අතට එමගින් ව්‍යවස්ථාමය කොමිටියේ සමාජ බහුත්වය සහ වෘත්තීයවේදීත්වය විදහා දැක්වෙන අන්දමට සිදුවිය යුතු වන්නේය.
පාර්ලිමේන්තුවේ නොවන සමාජයේ පිළිගත හැකි හෝ හඳුනාගනු ලැබූ වෘත්තීයවේදීන් හෝ වියයුතු වුවද කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නොවන තිදෙනෙක්ද විය යුත්තෝය.
කුඩා පක්‍ෂවලට කැපිල්ලක්?
22-ඒ සංශෝධනයේදී ව්‍යවස්ථාමය කොමිටිය ස්ථාපනයේදී තීරණාත්මක වෙනස්කම්ද කෙරී තිබේ. කොමිටියට පස්දෙනා පත්කිරීමේදී අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ කැමැත්තෙන් පත්වන්නන් ඒ දෙදෙනාගේ අනුගාමිකයන් නොවිය යුතුය යන්න එක් කරුණකි. එසේම එක් අයකු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩාමෙන් විය යුතුය යන්නය. අනෙක් කරුණ තවත් අයකු විපක්‍ෂ නායකවරයා නියෝජනය කෙරෙන පක්‍ෂයේ මන්ත්‍රීවරයකු විය යුතුය යන්නය. අගමැති සහ විපක්ෂ නායකවරයාගේ කැමැත්තෙන් පත්කෙරෙන බාහිර පාර්ශ්වීය (පාර්ලිමේන්තුවෙන් නොවන) තිදෙනා යථෝක්ත දෙදෙනාගේ (අගමැති සහ විපක්‍ෂ නායක) අනුමැතියෙන් කතානායකවරයා විසින් පත්කරනු ලැබිය යුත්තෝය. ඒ සඳහා කුඩා පක්‍ෂවලින් විමසීමේ අවශ්‍යතාවක් ද නොවන්නේය. මෙමගින් ගැටලු කිහිපයක්ද උද්ගත වේ.
කිසියම් දේශපාලන පක්‍ෂයකට අයත්ව පත්ව සිටින කතානායකවරයා (එවැන්නෝ පසුගිය සමයන්හි උන්හ) සිය පක්‍ෂයට ළැදිව කටයුතු කරන්නකු නම් ඔහු විසින් පත්කරනු ලබන තිදෙනා ඒ පක්‍ෂයේ හිතවතුන් විය හැකිය. එසේ වූ කල පාර්ලිමේන්තුවේ බහුතරය පවත්නා ආණ්ඩු පක්‍ෂයට කිසිදු දුෂ්කරතාවකින් තොරව ඒ සඳහා අනුමැතියද පහසුවෙන්ම ලබාගත හැකි වන්නේය. ඒ තිදෙනා පත්කිරීමේදී කුඩා පක්‍ෂවලට කිසිදු මතයක් ප්‍රකාශ කළ නොහැකි වීමද තදබල අඩුපාඩුවකි. මේ අනුව වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන TNA, NPP, EPDP, TNPF ආදී පක්‍ෂවලින් මහජන නියෝජිතයන් විසිපස් දෙනකු පමණ සිටියද ඒ පිරිසේ මත විමසීමට අවස්ථාවක් නොවීමද බලවත් අඩුපාඩුවකි.
22-ඒ සංශෝධන පරිදි දෙදෙනකු පාර්ලිමේන්තුවෙන් සහ තිදෙනකු ඉන් බැහැරින් වියයුතු බව නිර්දේශයයි. පාර්ලිමේන්තුවෙන් නම්කෙරෙන මහජන නියෝජිතයන් දෙදෙනා ව්‍යවස්ථාමය කොමිටියේදී ජන සමාජයේ බහුතරය නියෝජනය කරන්නන් විය යුතු බවට නිර්දේශය ගැටලු ගණනාවකට (ආරවුලකට) ප්‍රතිපාදන සපයන්නකි.
එම කරුණ 19-ඒ ව්‍යවස්ථාවේ ඇත්තේ එම පත්කිරීම් පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන සෑම පක්‍ෂයක අභිමතයෙන් කළ යුතු බවටය.
පනතකට අභියෝග කිරීමේ කාලය
පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට දින හතකට පෙරාතුව පනත ගැසට් කළ යුතු බවටද, එතැන් සිට දින හතක කාලයක් තුළ ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහාද ප්‍රතිපාදන 1978 ව්‍යවස්ථාවේ සඳහන් වේ. 19-ඒ පරිදි ඒ සඳහා අවම කාලසීමාව දින 14කි. 20න් එය දින 7කි. 22-ඒ නිර්දේශවල ඒ ගැන කාල නිර්ණයක් නැතත් දින 14ක් විය යුතු බව සඳහන්ය. එම නිර්දේශය ප්‍රශංසනාත්මකය.
රට මුහුණපා ඇති ආර්ථික අගාධයෙන් නැගීසිටීම සඳහා ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍ය බව ඉතාම පැහැදිලි කරුණකි. ඒ සඳහා පාර්ලිම්න්තුවේ සමස්ත නියෝජනයේ එකඟතාවද ඉතාම අවශ්‍ය වේ.
මේ සඳහා සියලු නියෝජනයන් සහ පක්‍ෂ නායකයන් අමාත්‍ය මණ්ඩලයේ අන්තර්ගතව සිටිය යුතු බව අවධාරණය නොකෙරේ. එක පාර්ශ්වයක් පවා අමාත්‍ය මණ්ඩලය සඳහා ප්‍රමාණවත් වුවත් සර්වග්‍රාහී කැමැත්ත (සියලු පක්‍ෂනායක කැමැත්ත) නම් ඉතාම අවශ්‍ය බව අවධාරණය කෙරේ. පක්‍ෂ නායකයන් පමණක්ම නොව අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයන් අමාත්‍ය මණ්ඩලයට අන්තර්ගත වියයුතු බව ඇතැම් පක්‍ෂයක මතයද ලඝු කොට නොතැකිය යුත්තකි.
22 වැනි සංශෝධනය පවත්නා අන්දමින්ම සම්මත වුවහොත් විපක්‍ෂය පමණක් නොව ස්වාධීනව කටයුතු කිරීමේ අභිලාෂයෙන් පෙළෙන කිසිදු මහජන නියෝජිතයකු නම් වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වනතුරුම ඔහු සතුව පත්නා බලය හේතුකොටගෙන ආණ්ඩු පක්‍ෂයට එකතුවීමට ඉදිරිපත් නොවන බව නම් සහතිකය.
22 වැනි සංශෝධනයේ දැක්වෙන අර්ථකථනය පරිදි ජනාධිපති සතු මේ අචින්ත්‍ය බලය ඔහු සතුව පවත්නේ ඔහු කියන අන්දමට ඔහුගේ ධුර කාලය නිමාවන තුරු නොවේ. මේ පාර්ලිමේන්තු සැසිය නිමාවන තුරු පමණකි.
ජනධිපතිවරයා තමාට වාසි වන අන්දමට බලය පවත්වා ගැනීම උදෙසා කරන අර්ථකථනයේ තේරුම කවරේදැයි යන්න ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත.
දීර්ඝ කතාවක් සංක්‍ෂේපයෙන් කියන්නේ නම් “ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති සිය ධුර කාලය නිමවන තුරුම මහ මැතිවරණයක් පවත්වන්නේ නැති බව නම් ඉරහඳ මෙන් පැහැදිලිය”. මන්ද එවැනි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව නැත්තටම නැතිවන අන්දමට අතුගෑවී යන නියාවෙනි.

චන්ද්‍රසේන මාරසිංහ










