‘වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී’
අපේ පැරැණි සිංහල ජන වහරේ එන මෙම අපූරු කවිය සැබෑ ලෙසම අද අප සමාජයේ හැඩරුව අර්ථවත් කරයි. එදා ගැල් කවි හෝ කරත්ත කවි ලෙස ගැයූ එම කවිය අද ගායනා කළ හැක්කේ දවසේ පැය 24 පුරාම මහ මඟ සිටිමිනි. මේ අපූරු කව නිර්මාණය කළ කාව්‍යකරුවා එය කෙතරම් හරවත්ව සිදුකර ඇද්ද? ගොනෙකුට ඇත්තටම වලිගය නැත්නම් කිසිදු ඵලක්ද නැත. ඌ මැස්සන් එළවිය යුත්තේ තමාගේ පස්සා පැත්ත වැනීමෙනි. එය කෙතරම් අසීරු කාරියක්ද? එහෙත් වලිගය ඇති ගොනා කෙතරම් ගාම්භීරව වලිගය වනමින් මැස්සන් පලවාහරින්නේද? අද අපේ රටේ අතිබහුතරයක් මිනිසුන් මෙම වලිගය නැති ගොනුන් වැනිය. එනම් කාව්‍යකරුවා අවසාන පදයේ කියූ ලෙස වලිගය නැති ගොන්නු සන්සන්දනය කරන්නේ දුප්පත්කමටය. අද මෙරට ජනයා බහුතරයක්ම දුප්පත්කමින් පීඩා විඳින්නේ වලිගය නැති ගොනුන් මෙන්ය. කෙසේ හෝ මැස්සන්ට ගජරාමෙට බැට දෙන වලිගය ඇති ගොන්නුද රැසක් මේ සමාජයේ වෙසෙති. ඒ දේශපාලකයන් සහ අනෙකුත් අතේ මිටේ කාසි පනම් ඇති හයිකාරයන්ය. ඔවුන්ට පොදු ජනයා විඳින දුක අවබෝධ වන්නේද නැත.
මෙවැනි ශෝචනීය වටපිටාවක් අපේ රටේ දස අතම තිබියදී මගේ මතකයට ආවේ තවත් පැරැණි ජන කියමනකි. එම අපූරු පදය නම්,
‘යා දෙක නොරත රත’ යන කියමනයි. එයින් අර්ථවත් කරන්නේ රත්වූ යකඩයත්, රත් නොවූ යකඩයත් එකට පෑහීමට නොහැකි බවයි. එතේ පසු කාලයකදී එක් විකල්ප ලේඛකයකු තම ලියමනකින් කියා තිබුණේ යකඩ එසේ නොවූවත් ලාකඩ නම් රත් කළ පසු පහසුවෙන් එකට යාකළ හැකි බවයි. එයද විටෙක අපූරු අර්ථකථනයකි. කෙසේ හෝ ‘ලාකඩ සහ ලාකඩ’ එකට පෑහෙනවා (ඇලෙනවා) සේ වර්තමානයේදී අපගේ ශ්‍රී ලංකාවටම ගැළපෙන රටක් ගැන තොරතුරක් මේ වන විට හෙළිවෙමින් ඇත. එනම් අපගේ රටට මේ වන විට සිදුව ඇති වින්නැහියටම සමාන විනාශයක් සිදුව ඇති තවත් රටක් ගැන මේ දිනවල අසන්නට ලැබෙයි. අපේ රටේ ජනතාවට මේ ගැන එතරම් අවබෝධයක් නැති අතර ඒ හෙයින්ම එම වගතුග සොයා බලා ලියන්නට අප උත්සාහ කළෙමු. කුමක්ද මේ අපූරු කතාන්දරය?
ලෙබනනය, මෙම වගතුගේ මුල් වචනයයි. එනම් අරාබිකරයේ රටක් වන ලෙබනනය (Lebanon) හරහා මෙම කතාව ඇසෙයි. වර්තමානයේ ලෙබනනය යනු අපගේ ශ්‍රී ලංකාවට සමානම ශෝචනීය ඉරණමක් අත්වූ රටක් ලෙස වාර්තා වෙයි. එනම් අපේ රටටම සමාන අතිශය උග්‍ර වූ ආර්ථික හා මූල්‍ය විනාශයක් හේතුවෙන් මේ වන විට ලෙබනනය දැඩි ලෙස පීඩා විඳියි. මෙලෙස එම රටටද අත්වූ ඉරණම ගැන අවධානයෙන් යුතුව සොයා බැලීම වැදගත් කාරියක් වන්නේ අපද අද එවැනිම වළක වැටී ඇති හෙයිනි. ශ්‍රී ලංකාව අගාධයේ වැටුණු හැටි අප හොඳාකාරවම දනිමු. එසේ නම් ලෙබනනය අගාධයේ වැටුණේ කුමන ආකාරයකටද?
ලෙබනනය යනු ශ්‍රී ලංකාවට නුහුරු රාජ්‍යයක් නොවේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙයට කලකට ඉහතදී ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවය කළ හෙයිනි. එහෙත් දැනට ලෙබනනයේ සේවය කරනු ලබන ශ්‍රී ලාකිකයන්ගේ ප්‍රමාණය ඉතා අඩුය. ලෙබනනය ජනරජයක් හෝ සමූහාණ්ඩුවක් ලෙසින් හඳුන්වනු ලබයි. ලෙබනනය නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මාඉම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනය එයට අනන්‍ය වූ පොහොසත් ඉතිහාසයක් සහ සංස්කෘතියක්ද ඇති රටකි. එහි ඉතිහාසයට අනුව එම රට තුළ වසර 7,000කට අධික කාලයක සිට මානව ශිෂ්ටාචාරයක් පැවැති බැව් හෙළිවෙයි. කෙසේ හෝ පසුකාලීනව ලෝක යුද්ධයෙන් පසුව ලෙබනනයේ බොහෝ ප්‍රදේශ ප්‍රංශයේ පාලනයට යටත් විය. ඉන් පසුව 1946දී එරට නිදහස ලැබීය. දශක ගණනාවක් පුරා මෙරට තුළ බොහෝ හොඳ ආර්ථිකයක් සහ මූල්‍ය වටපිටාවක් තිබුණු බැව් පැවැසෙයි. කෙසේ හෝ 1975-1990 කාලය තුළ එරට පැවැති සිවිල් යුද්ධය හේතුවෙන් රටේ දියුණුව අඩාළ වී ඇත. එහෙත් පසුව නැවතත් ලෙබනනය ආර්ථික දියුණුවට පත්වූ බව වාර්තා සඳහන් කරයි. කෙසේ හෝ 2018 වසර පමණ දක්වා ලෙබනනයේ ආර්ථිකය යම් යහපත් තත්ත්වයක තිබුණු බවද පැවැසෙයි.
ලෙබනනය ඉතා දර්ශනීය භූගෝලීය පරිසරයක් ඇති රටක් ලෙසද ප්රකටය. ලෝකයේ බොහෝ රටවලින් සංචාරකයන් රැසක් මෙහි පැමිණෙන අතර, ‘අරාබිකරයේ ස්විස්ටර්ලන්තය’ ලෙසින් අර්ථකථනය කළේ ලෙබනනයටය. එමෙන්ම මෙහි අගනුවර වන බීරූට් නගරයද ඉතා දර්ශනීය, දියුණු නගරයක් වන අතර, බීරූට් නගරය අර්ථකථනය කළේ ‘අරාබිකරයේ පැරීසිය’ ලෙසටය. මේ ආකාරයට ඉතා යහපත් සශ්‍රීක තත්ත්වයක් තිබුණු ලෙබනනය වතාවන් තුනකදී ඊශ්‍රායලයේ සහ සිරියාවේද ආක්රමණයන්ට යටත් විය. එහෙත් කෙසේ හෝ 2005 වසර වන විටදී මෙම විදෙස් හමුදා සියල්ල එරටින් බැහැරව ගොස් තිබිණි. ඒ අනුව එරට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති නිදහස් පරිසරයක් බිහිවී තිබිණි. දැන් එසේ නම් ලෙබනනයේ ආර්ථිකය කඩාවැටීම සිදුවන්නේ කෙසේද?
ලෙබනනයේ ආර්ථිකය හා සමාජයීය විනාශයට මුල් හේතුව වශයෙන් දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන ප්‍රධානතම කරුණ නම් එරට තුළ වසර 29ක කාලයක් පැවැති සිවිල් යුද්ධයයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේද වසර 30ක් පුරා පැවැති සිවිල් යුද්ධයට සමානය. ශ්‍රී ලංකාවේ එකල තිබුණේ මුළුමනින්ම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් වුවද ලෙබනනයට ත්‍රස්ත ප්‍රශ්නයට අමතරව වෙනත් රටවල ආක්‍රමණයන්ද ප්රබලව බලපානු ලැබීය. කෙසේ හෝ ලෙබනනයේ එම සිවිල් යුද්ධය මෙහිදී විස්තර කරන්නට ඉඩකඩ මදිය. එවැනි යුදමය වටපිටාවක් යටතේ ලෙබනනයේ ආර්ථිකය කඩාවැටෙන්නට තවත් ප්‍රධානතම හේතුවක් ලෙස දක්වා ඇත්තේ එරට කාලයක් පුරා පාලනය කළ රාජ්‍ය නායකයන්ගේ අදූරදර්ශී පාලනය බව පැවැසෙයි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට යට කී සිවිල් යුද්ධය පැවැති සමයේදී ලෙබනනය පාලනය කළ අගමැතිවරුන් දෙදෙනකු විසින් මහා පරිමාණයේ දූෂණ, වංචා සිදුකළ බව පැවසෙයි. එකල 2005 සිට 2013 දක්වා දෙවරක් එරට අගමැති ධුරය දැරූ දේශපාලකයකු වන්නේ නජීබ් මිකාටි වන අතර, ඔහුට එරෙහිව මූල්‍යමය වංචා රැසක් සම්බන්ධ චෝදනා එල්ල වී ඇත. ලෙබනනය දියුණු කිරීම උදෙසා විදේශ රටවලින් මූල්‍ය ආධාර ආදිය ලබාදෙන විටදී ඔහු එම මුදල්වලින් කොටසක් තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ සුඛවිහරණය සඳහා ලබාගෙන ඇත. එසේම රටේ සංවර්ධන ව්‍යාපෘති මගින් ඩොලර් මිලියන ගණනින් සොරකම් කර ඇත. ඔහු කෙතරම් මුදල් වංචා කළේද යත් ඇමෙරිකාවේ එම්.ටී.එන්. ටෙලිකොම් ආයතනය ඩොලර් බිලියන 5.5කට මිලට ගත් බවද පැවසෙයි. ඔහු සමග ඔහුගේ සහෝදරයා වන තහා මිකාටි නමැති දේශපාලකයාද මෙම මහා වංචාවට සම්බන්ධ වී ඇත.
නජීව් මිකාටි ලෙබනනයේ ඉතිහාසයට අනුව එරට බලයට පත්වූ දූෂිතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙයි. තවද මොහු බලයේ සිටියදී තම පවුලේ ඥාතීන් රැසකටම විවිධ උසස් දේශපාලන තනතුරුද ලබාදී ඇත. එහෙත් පුදුමයට කරුණ නම් මෙම දූෂිත දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවී තිබීමය. මේ අතර ලෙබනනය වළපල්ලට ගෙන ගිය තවත් දේශපාලකයකු ලෙස සැලකෙන්නේ 1992 සිට 2004 දක්වා අගමැති ධුරය දෙවරක් දැරූ රෆීක් හරීර්ය. ඔහුද අතිශය දූෂිත නායකයකු වූ අතර, එරට සම්පත් රැසක් කොල්ලකෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මොහු අගමැති ධුරයට අමතරව එරට ප්‍රධානතම අමාත්‍යාංශ 05ක ඇමැති ධුරයන්ද දැරීය. ඔහු එසේ සිදුකර ඇත්තේ එම අමාත්‍යාංශ හරහා වංචා දූෂණයන් සිදුකිරීමට පහසු වීම සඳහාය. කෙසේ හෝ කලක් ගතවත්ම මෙම දේශපාලකයාට එරෙහිව ජනතා උද්ඝෝෂණය ඉතා දැඩි විය. අවසානයේදී විරුද්ධවාදී පාර්ශ්වයක් විසින් 2005 පෙබරවාරි 14 වැනිදා බීරූට් අගනුවරදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් විසිදෙදෙනකු ඝාතනය කරනු ලැබීය. ඒ සඳහා කිලෝග්‍රෑම් 1,800ක් බර බෝම්බ තොගයක් යොදාගෙන තිබිණි. මොහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 11ක් බව වාර්තා විය.
ලෙබනනයේ මේ අපූරු වගතුග දැන් ඔබට යම් පමණකින් පැහැදිලි වනවා ඇතැයි සිතමි. ලෙබනනයේ සිටියා යැයි පැවසෙන මෙවැනි දූෂිත දේශපාලකයන්ගේ කතාව ඇසෙන විට ඔබට හැඟෙන්නේ කුමක්ද? එය දැන් ඔබ හොඳින්ම දන්නවා ඇත. එනම් ඒ වගතුග ඇසෙන විටම අපට සැණෙන් මතකයට එන්නේ අපේ රටේ සිටින දූෂිත දේශපාලකයන් ගැන කතාන්දරය. ශ්‍රී ලංකාවේද මෙවැනි මුග්ධ, කපටි දේශපාලකයන් රැසක් සිටිති. ඔවුන්ගේ නම්ගම් ලියා තබන්නට අවශ්‍ය නැත්තේ ඔබ එම වගතුග හොඳින් දන්නා හෙයිනි. කෙසේ හෝ මේ ආකාරයට ‘රත්වූ ලාකඩ සහ ලාකඩ’ සැණෙන් එකට ඇලෙනවා සේ ශ්‍රී ලංකාවේ වගතුගද ලෙබනනයේ වගතුග සමග එකට පෑහෙන්නේය. දැන් එසේ නම් මෑත කාලයක සිට ලෙබනනය, ශ්‍රී ලංකාව මෙන් ආර්ථික ප්‍රපාතයකට ඇදවැටුණේ කෙසේද? ඉහත පැවසූ ආකාරයට එරට වෙළාගත් සිවිල් යුද්ධය සහ දූෂිත රාජ්‍ය නායකයන්ගේ ක්‍රියාකලාපය මෙම විනාශයට මූලික අඩිතාලම දැමුවේය. එහෙත් පසුකාලීනව යම් යහපත් ආර්ථික රටාවක් තිබුණු ලෙබනනය ඉතාමත් කෙටි කාලයක් තුළදී ශීඝ්‍ර ලෙස ආර්ථික සහ මූල්‍යමය අගාධයට ඇදවැටුණේය. මෙය සිදුවන්නේ වසර 2, 1/2ක පමණ ඉතා කෙටි කාලයක් තුළදී වන අතර ශ්‍රී ලංකාවද එවැනි කෙටි කාලයක් තුළදී ඒ හා සමාන විනාශයකට පත්වෙයි.
මෑත සමයට අදාළව ලෙබනනයේ ආර්ථික සහ මූල්‍ය අර්බුදය ප්‍රබල ලෙස ඇරඹෙන්නේ 2019 වසරේ අගෝස්තු මාසයේදී සිටය. 2019 වසරට පෙර වසර දෙකක පමණ කාලයක් මෙවැනි අර්බුදයක් උද්ගතව තිබුණත් එය රජය විසින් බොහෝ සූක්ෂ්ම ලෙස වසන් කරනු ලැබුවේය. එම සටකපට ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ ලෙබනනයේ මහබැංකුව හරහාය. එනම් රාජ්‍ය පාලකයන්ගේ උපදෙස් මත ලෙබනන් මහබැංකුවේ අධිපතිවරයා විසින් මෙම ක්‍රමවේදය සිදුකරන ලදී. මහබැංකුව තුළ තිබෙන මූල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මගින් මෙම අර්බුද ටිකෙන් ටික උග්‍ර වන්නට ගත්තේය. බොහෝ නුදුරු කාලයකදී ආර්ථිකය කඩාවැටෙන බැව් දැන දැනත් ලෙබනන් මහබැංකුව විසින් එම තොරතුරු වසන් කරන ලදී. මෙම 2022 මැයි මාසය වන විට ලෙබනනයේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 43කට ආසන්නය. මෙම මුදලට පොලී ප්‍රමාණයන්ද එකතු වුණු විට ඩොලර් බිලියන 60කට ආසන්න වෙයි. දැනට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 53ක් වන අතර, පොලිය සමග බිලියන 70ක් පමණ වෙයි. දැන් හොඳින් බලන්න. මේ රටවල් දෙකම එකම අර්බුදයක පැටලී සිටියි.
ලෙබනනයේ ආර්ථික විනාශයේ පිටු තව තවත් පෙරළෙන්නට ගත්තේය. මැදපෙරදිගට සහ දකුණු ආසියාවට අයත් රටක් වුවත් ලෙබනනයට තෙල් හෝ ගෑස් හෝ සම්පත් කිසිවක් නැත. තෙල් නිධි ඇති බවට පර්යේෂණ මගින් පෙන්වා දී තිබුණද දැනට දශකයකට අධික කාලයක සිට ඒ පිළිබඳ රජය කිසිවක් සිදුකර නැත. ලෙබනනයේ ප්‍රධානතම දේශීය සහ අපනයන කර්මාන්තය වන්නේ කෘෂිකර්මාන්තයයි. ඊට අමතරව රෙදිපිළි කර්මාන්තය, මුතු මැණික් කර්මාන්තය සහ දැව කර්මාන්තය මගින්ද විදෙස් විනිමය උපයයි. කෙසේ හෝ වත්මන් ආර්ථික අර්බුදය ඇරඹීමට ප්‍රථම එනම් 2021 වසරේදී ලෙබනනයේ විදේශ සංචිතවල වත්කම (මුදල් සහ රත්රන්) ඩොලර් බිලියන 35ක් පමණ යැයි ලෙබනන් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් වසරක පමණ කාලයක් තුළදී දැන් එම සංචිතය ඩොලර් බිලියන 11 දක්වා පහත වැටී ඇතැයිද පැවසෙයි. ඩොලර් බිලියන 60ක (පොලිය සමග) විදේශ ණය සමග ඩොලර් බිලියන 105ක අභ්‍යන්තර ණයද මේ වන විට ලෙබනනයට ගෙවීමට ඇත. කෙසේ හෝ පසුගිය කාලයේ මෙම ණය ගෙවීම නිසා විදේශ සංචිත පහත වැටී නැවත ණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයකට ලෙබනනය පත්විය. දැනට ලෙබනනයේ විදේශ සංචිතවල ඉතිරිව ඇත්තේ මුදල් නොව රත්රන් පමණක් බවද ප්‍රකාශ වෙයි.
කෙසේ හෝ මෙවැනි වටපිටාවක් තිබියදී 2019 වසර අගදී ලෙබනනය කොරෝනා වසංගතයටද තදබල ලෙස මුහුණ දුන්නේය. රටේ ආර්ථිකය කඩාගෙන වැටී ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා පවා අහිමි විය. ඒ අතරම 2020 වසරේදී ලෙබනන්හි බීරූට් වරායේ අතිශය විශාල රසායනික පිපිරීමක් සිදුවිය. මෙම විනාශයෙන් ජීවිත 170ක් පමණ අහිමි වූ අතර නගරයේ ගොඩනැගිලි රාශියක් මුළුමනින්ම විනාශයට පත්විය. ඒ අනුව එයද ආර්ථිකයට ප්රබලව බලපෑම් සිදුකළේය. කෙසේ හෝ මේ කාලය වන විටදී දිගින් දිගටම තම විදේශ ණය ගෙවීමට ලෙබනනයට සිදුවිය. ඒ වන විට ලෙබනනය විදේශ ණය පැහැරහැරීමක් සිදුකර නොතිබිණි. කෙසේ හෝ ණය ගෙවාගැනීම ලෙබනන් රජයට දුෂ්කාර කාර්යයක් විය. ඒ අනුව ලෙබනනයේ ඉතිහාසයේ වසර 77කට පසුව පළමු ස්වෛරී ණය පැහැරහැරීම සිදුවිය. එනම් 2020 මාර්තු 09 වැනිදා ඩොලර් බිලියන 1.2ක යුරෝ බැඳුම්කරයක් ආපසු ගෙවීමට නොහැකි විය. එදින සිට මේ තාක් වසර 02ක කාලය තුළ ලෙබනනයේ ණය පැහැරහැරීම වතාවන් ගණනාවකදී සිදුවිය. මෙවැනි වටපිටාවක් යටතේ විදේශ සංචිත සිඳීගොස් ඉනධන, ගෑස් ආනයනයද ඇනහිටියේය. මුළු රටම විදුලිය නැතිව අන්ධකාරයට පත්වූයේය. ජනතා උද්ධමනය දිනෙන් දින ඉහළ නැග්ගේය.
මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ ලෙබනනයේ ජනතාව තම රාජ්‍ය පාලනයට එරෙහිව වීදි බැස දැඩි උද්ඝෝෂණවල නිරත වන්නට වූහ. දිගින් දිගටම මහමඟ ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරෙමින් තරුණ පිරිස් රාජ්‍ය පාලනයට එරෙහිව නැඟී සිටියේය. මේ අතර එරට මුදල් ඒකකය 90%කින් පමණ අවප්‍රමාණ වී ආහාර උද්ධමනය ඉතා බියකරු ලෙස ඉහළ නැග්ගේය. බොහෝ මිනිසුන්ට එදිනෙදා ආහාර වේලක් ලබාගැනීමට මුදල් නැතිව ගියේය. භාණ්ඩ හා සේවා මිල ගණන් ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. මෙම තත්ත්වය යටතේ යහපත් තත්ත්වයක සිටි මාධ්‍යම පන්තියේ මිනිසුන් ලක්ෂ 15ක් පමණ පහත දුගී පන්තියට වැටෙන තත්ත්වයකට පත්විය. මේ අතර රට තුළ ඉන්ධන අර්බුදය ඉතා උග්‍ර වී ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටින තත්ත්වයක් උදාවිය. ජනතාව ඉන්ධනහල් අසල කැරැලි ගසන තත්ත්වයකටද පත්විය. විදුලිය, ඉන්ධන පමණක් නොව පානීය ජලය ලබාගැනීමද දුෂ්කර විය. ඒ අතර ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව රෝහල් වසාදමන තත්ත්වයකට පත්විය. කිසිදු හව්හරණක් නැති ඉතා දුප්පත් මිනිසුන් සරණාගත කඳවුරුවලට යවනු ලැබීය. විදෙස් සංචිත නැත්තටම නැතිවී යන තත්ත්වයට රට පත්වුණේය. මේ අතර ජනතා විරෝධය මත එවක සිටි පාලන තන්ත්රය (අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය) ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් පත්වූයේය.
කෙසේ හෝ ලෙබනනයේ අර්බුදයට කිසිදු විසඳුමක් ලැබුණේ නැත. පසුගිය 2022 අප්‍රේල් මාසය වන විටදී ලෙබනනයේ සමස්ත වාර්ෂික උද්ධමනය 123%ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එනම් ලෝකයේම රටවල් අතරින් 03 වැනි ස්ථානයට පත්වී තිබිණි. එවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 57%ක් දක්වා වාර්තා වී තිබුණු අතර එය ලෝකයේ රටවල් අතරින් 05 වැනි ස්ථානයට පත්විය. මෙවැනි වටපිටාවක් ලෙබනනය තුළ තිබියදී රට ගොඩගැනීමට එකම විකල්පය ලෙස යෝජනා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමය. ඒ සඳහා රජය තම අදහස්, යෝජනා අයි.එම්.එෆ්. සංවිධානය වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ, මෙම 2022 වසරේ ආරම්භයේදීය. ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබාදීම සඳහා අයි.එම්.එෆ්. සවිධානය කැමැති වූ අතර එහෙත් ඒ සඳහා මූල්‍යමය සැලැස්මක් සිදුකළ යුතු බවද ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ පසුගිය අප්‍රේල් මාසයේදී මෙම ණය මුදල ලෙබනනයට ලබාදෙන බැව් අයි.එම්.එෆ්. නිවේදනය කර සිටියේය. එසේ වුවද මේ තාක් එම මුදල ලැබී නැත. අයි.එම්.එෆ්. අනුබද්ධිත ලෝක ණය දෙන්නන්ගේ මණ්ඩලය වෙතින් අවසන් අනුමැතිය ලැබීමට නියමිතව ඇත.
කෙසේ හෝ මෙම ලෙබනන් කතාවේ අපූරුම වගතුග හෙළිවන්නේ මෙතැනදීය. දැන් නැවතත් තෙවැනි වතාවටත් ලෙබනනයේ අගමැති ධුරයට පත්ව සිටින්නේ මෙම ලිපියේ ඉහත ඔබට ලියා තැබූ දූෂිත දේශපාලකය වූ නජීබ් මිකාටිය. එනම් 2021 සැප්තැම්බර් නැවත ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් අගමැති ධුරයට පත්විය. එසේ නැතිව මැතිවරණයකින් නොවේ. එහි අනෙක් අපූරුම තොරතුර නම් පසුගියදා මෙම දූෂිත දේශපාලකයාගේ නම පැන්ඩෝරා පත්‍රිකාවලද සඳහන්ව තිබීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ










