මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං
හඳට අඬං සිංදු කියන්නී…කුණ්ඩුමනී
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී..
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පද මාලාවක් වික්ටර් රත්නායක මහතාගේ සංගීතයෙන් සන්නද්ධව ෆ්‍රෙඩී සිල්වාගේ ගොරහැඩි හාස්‍යමය හඬින් ගැයෙන මේ ගීතය සැබැවින්ම මන්නාරම් පිටි වැල්ලේ සිටින කුණ්ඩුමනි කෙනෙක් මන්නාරම් සැරිසරන්නාගේ සිතේ අදිනු ලබයි. උතුරේ සිව්කොන සිසාරා ඒ මේ අත ඔබ මොබ හැසිරෙන උතුරු අර්ධද්වීපයේ ආගන්තුකයාගේ මීළග නවාතැන නම් මන්නාරම් ගල්ෆ් කලාපයයි.
මන්නාරම් ගල්ෆ් කලාප කොටසේ කෙළවර ඉන්දියාවට ළඟින්ම පිහිටි ලංකාවේ කොටසයි. ලංකාවේ මන්නාරම හා ඒ අවට වූ ඉහළ දූපත් කිහිපයත් ඉන්දියාවෙන් ඔබ්බට වූ රාමේශ්වරම්, ධනුෂ්කෝඩි ඇතුළු දූපත් කිහිපයත් දෙරටින් එළියට නෙරා ඇත්තේ එකිනෙකා අත් වැල් අල්ලාගන්නට සැරසෙනවාක් මෙන් යැයි සැරිසරන්නාගේ මතයයි.
එකල මන්නාරම දකුණු ඉන්දියාව හා කෙලින්ම බෝට්ටු සේවයකින් සම්බන්ධ වී තිබූයෙන් දැනටද ලංකාවේ වතු කම්කරුවන් ලෙස ආර්ථිකයට දිරිදෙන උඩරට ද්‍රවිඩ ජනයා ලංකාවට පැමිණියේ මෙම මන්නාරම් තොටෙන් බව අසා දැනගන්න ලැබුණි. දැනටත් මෙම පළාතේ ද්‍රවිඩ ජනයා බහුතරයක් වෙසෙන බව මන්නාරම් ආගන්තුකයාගේ හැගීමයි.
“ගල්ෆ්” නම් වචනය යොදාගන්නේ විශේෂිත භූ විෂමතා කිහිපයක් ඇති මුහුදු ප්‍රදේශයක් හැදින්වීමයි.මුහුදට නෙරා ගිය විශාල භූමි භාග දෙකකට හෝ එක් රටකට/රටවල් කිහිපයකට අයත් විශාල මුහුදු සීමාවකින්, එහෙම නැත්නම් වෙරළ තීරයකින් වටවුණු මුහුදු බොක්කක් “ගල්ෆ්” කලාපයක් ලෙස හදුන්වනු ලබයි. මේ කලාපය විශාල සාගරයට විවෘත වී ඇති වපසරිය හේතුකොටගෙන කරදිය ජලයේ සංයුතිය තරමක් වෙනස් විය හැක .අතකින් ගල්ෆ් මුහුදු කලාපයක ලක්ෂණ තිබුණු පමණින් යම් භූ විෂමතා කලාපයක් ගල්ෆ් මුහුදක් ලෙස හඳුන්වන්නේත් නැත.ඉතිං අපේ මන්නාරම් දූපත සහ ඒ කලාපයේ කුඩා දූපත් රැසක් ඇතුළු ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඉන්දියාවේ ගිනිකොන දිග මුහුදු තීරය අතර නොගැඹුරු මුහුදු කලාපය හැඳින්වෙන්නේ “මන්නාරම් ගල්ෆ් කලාපය” නමින්ය.
වංශකතා පාර දිගේ ලංකාවේ ඉතිහාසය හොයාගෙන යන්න පටන්ගන්නව නම් ඔන්න ඒකට පළමු සංධිස්ථානය වෙන්නේ මේ මල්වතු ඔය ආශ්රිත ප්රදේශයයි. “ආරිය ජනාවාස” මත පදනම් වූ ඉතිහාසයකට යුග ගනනාවක් පසු කර දිවයන්න හැකි මේ නවාතැන නම් මල්වතු ඔය හෙවත් කදම්භ නදියයි.
හරිම අපූරුයි ! බොහොම ප්‍රිය ජනකයි !
මල්වතු ඔය රජරට පිහිටි නාච්චදූවෙන් ගලාගෙන ඇවිදින් මඩුපාර ගම්මානයට සැතපුමකට ඉහළින් දෙපසට බෙදී යන්නේ මල්වතුඔය සහ අරවිආරු යන නම් වලින්ය. ” සිලාතුරෙයි ” ද්‍රවිඩ උච්චාරණයට අනුව එහෙමත් නැත්නම් සිලාවතුරෙන් (සිල්වතුරෙන්) ඔය මල්වතු ඔය මුහුදට එක්වෙයි. අරවිආරුව මඩු ගම්මානයේ පිරිපත දෝවාලමින් ගලාගෙන ගොස් මුරුන්කන් යෝධ වැවට එකතු වෙයි. මේ යෝදවැවෙන් එවක කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට දුම්රියෙන් මැටි ගෙනගිය බව නම් ඉතා ප්‍රසිද්ධය. මීට එක් කරන ලද ඦායාරූප වලින් දිස් වන්නේ මල්වතුඔය හා අරවිආරුව නමින් දෙපසට බෙදෙන තේක්කම නම් ස්ථානයයි .එහි ඉතාමත් අනර්ඝ වූ පත්තිනි මෑණියන්ගේ හා පුල්ලෙයාර් දෙවිඳුන්ගේ (ජන වහරට අනුව හැඳින්වෙන) ශෛලමය පිළිරූ දෙකක් දැක බලා ගැනීමටද අවස්ථාව වෙයි. මල්වතු ඔය , මුල් කොටසේදී අරුවි ආරු ලෙසින්ද එහි මුවදොර පෙදෙසේදී මහාවංශයට අනුව කදම්භ නදී ලෙසින්ද හදුන්වා තිබේ. විජය ගොඩබට තම්මැන්නාව ඇත්තේද මේ නදියේ දකුණු ඉවුරේ ලෙස අනුමාන කරයි. නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත් පසු ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් වූයේය. එනම් ඒ අපේ වංශකතාවයි.

ඔය කියන තම්බපණ්ණිය බලන්න යන්න ඕනේ නම් විල්පත්තු අභයභූමිය පැත්තේ කරක්කගහන්න වෙයි. අරිප්පු තියෙන්නෙත් ඔය ළගපාතමයි. හදිස්සියේ ඔය අරිප්පු කියන තැන මතක් උනේ මුතු බෙල්ලෝ නිසාවෙන් ය. මන්නාරම් අවට මුහුදේ මුතු පරවලට කිමිදී මුතු ඉවත්කරගැනීම ලංකාව යටත්විජිත කරගත් සුද්දන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ය. සිලාවතුර ,මරිච්ච කට්ටිවලත් මුතු පර කිමිදීම සිදුවී ඇත. ශ්‍රී ලංකාව “ඉන්දියන් සාගරේ මුතු ඇටේ ” යන විරුදාවලිය ලද්දේ මෙවන් සම්පත්වලින් සශ්‍රීක වූ නිසාවෙනි. ශ්‍රී ලංකාවේ මුතු ඇටවල තිඹිරිගෙය වන්නේත් මේ මන්නාරමේ සිලාවතුර කියන ප්‍රදේශයටමය.

මන්නාරම් ආගන්තුකයාගේ මීළග ඉසව්ව නම් ඩොරික් බංගලාවයි.දැන්නම් ඉතින් ඒක ගරා වැටී ඇති ඩොරික් හවුස් නම් වූ ගඩොල් මාලිගයකි .”ඩොරික් ” යන්නෙන් අදහස් කරන්නේ ග්‍රීක භාෂාවෙන් ආරුක්කු හා කුලුණු සහිතය යන්නයි.ලංකාවෙ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත් විසින් හදපු එයාගේ මාලිගාව ඩොරික් බංගලාවයි.අධික හිරු රැස්වලට ඔරොත්තු දෙන ලෙස ගඩොලින් කරපු යටත්විජිත සමයේ ලංකාවේ ඉදි කල මනස්කාන්තම ගොඩනැගිලි අතරින් එකක් නම් ඩොරික් බංගලාවයි.

මන්නාරමේ පිහිටි බයෝබැබ් ගස නැත්නම් යක්ෂයාගේ ගස එහෙමත් නැත්නම් අලිගහ අරාබි වෙළෙන්දන් නිසා ලංකාවට ලැබු දෙයකි.අවුරුදු 800 පමණ පැරණි උසින් මිටර් 10.5 වන වටප්‍රමානය මිටර් 21.10 වන මෙම ගස් 40ක් පමණ ලංකාවේ තියෙන බව අසන්නට ලැබුණු. ඉන් 34 ක්ම ඇත්තේ මන්නාරමේය.වර්තමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කර ඇති මේ විශාල බයෝබැබ් ගස නැරඹීමට නම් මන්නාරම් උප්පුකුලමට ලගා විය යුතුය.
උප්පුකලම අවට ඇත්තේ මුහුදය.බලන්න ලස්සන පේලියට නවත්තලා තියෙන ධීවර බෝට්ටුය.ඈතින් පේන්නේ නවත්වා ඇති බහුදින ධීවර යාත්‍රා නැත්නම් රෝලර් බෝට්ටුය.වෙරලට ආසන්නව ඇත්තේ කුඩා ධීවර යාත්රාය.තැන තැන මාලූ දැල් උස්සාගෙන ඒවා සමග පොර බදින ධීවරයෝය.වීසි දැල් අදින ධීවරයෝය.ඈතිට විහිදුණු ඉස්සන් කොටුය.බෝට්ටුවල අරන් එන අලුත් මාලුවෝ වෙනුවෙන් පොරකන කපුටෝය.තැන තැන වූ වාඩිවලට වී සුරුට්ටු අදින අපේ ධීවර මහත්තුරුය. මේ මන්නාරම් වැල්ලය.මේක “පිටි වැල්ලක්”ය.වැලි හරියට පිටි වගේය .
රොබර්ට් නොක්ස්ගේ ” එදා හෙලදිව ” කෘතියට අනුවනම් මේක උඩරට රජ කල කොනප්පු බණ්ඩාර කුමාරයගේ දියණිය වූ දෝන කතරිනා සිරකරගෙන සිටිය ස්තානයයි.දමිල බසින් කියන්නේ “අල්ලේ රාණී කොටුව” ලෙසය.තවද ෆෙඩ්රික් නෝත් ගෙන් පසු මුතුපර කිමිදීම අධීක්ෂණය කළ නිලධාරීන් රැසකට සෙවණ දුන් ස්තානයකි.දැනටත් හොල්මන් අත්භූත කතා හා ගෙතුනු රසවත් කතා මාලාවක් මේ අවට ප්‍රදේශයේ ගැමියන්ගෙන් අසා දැනගත හැකී.
යුරෝපීයයන් පෙරදිග වෙළඳාමට ඇඟිලි ගසන්නට ප්‍රථමයෙන් ලොව වටා වෙළඳාමේ ආධිපත්‍යය තිබ්බේ අරාබින් සතුවය. මන්නාරම් දූවේ තිබෙන බයෝබැබ් ගස් යනු ඒ අතීත වෙළදාමේ මංසලකුණු සිහි කරන තවත් සංධිස්ථානයකි. අප්‍රිකාවේ පතන බිම්හි වැවෙන විශාල කඳකින් හෙබි මෙම ගස ලංකාවේ දකින්නට ඇත්තේ ස්ථාන කිහිපයක , ඩෙල්ෆ්ට් හා මන්නාරම් දූපත් ආශ්‍රිතවය. මෙම ගස අරාබින් විසින් අප්‍රිකාවෙන් ගෙනැවිත් මෙහි සිටුවන්නට ඇත. එකල අරාබින් වෙළඳාමට යොදාගත් ඔටුවන්ද මන්නාරමේ සිට ඇතිමුත් අද වනවිට ඔටුවන් දකින්නට නැත. ඒ වෙනුවට මදි නොකියන්න බුරුවන් නම් ඇත.
A14 මාර්ගය හෙවත් මැදවච්චිය – මන්නාරම් පාරේ කිලෝමීටර් 48ක් ගිය පසු මුණගැහෙන මඩු දුම්රිය ස්ථානය අසලින් දකුණු පැත්තට මඩු රක්ෂිත වනාන්තරය හරහා සේන්දු උවහොත් මරද මඩු දක්වා යන්නට පුළුවන. ගේය කාව්යකරුවෙක් වන මන්නාරම මඩු පාර ගමේ ජීවත් වූ ජාගොඩ මහත්තයා මහත් සේ ආදරය කළ නැන්දණිය වෙනුවෙන් ලියූ ගීතයක් මෙසේ සිහිපත් වේ. එම ගීතය ඔහු විසින් නිකුත් කරන ලද “එකම ඔරසම” පොතෙහි තේමා ගීතය ද වෙයි.
“මඩුපල්ලියෙ අපි කිව්වේ
කොන්තය ගෙන එකම ඔරසමයි
ගිනි ඇවිලුණු
කළු ජූලියේ
හුස්ම පවා හෙළුවේ රහසින් ……….
දශක ගණනාවක අදුරු මතක හමුවේ උවත් මටනම් හැගුනේ ජාගොඩ මහත්තයාගේ මඩු ජීවිතයේ මතකය හරිම සුන්දර බවයි. ඒ මන්ද යත් ඔහුගේ ප්‍රේමයේ මතකය වෙනුවෙනි ඔහු බොහෝ ගේය කාව්‍ය රචනා කර ඇති හෙයිනි.
“මහ පොළව වගෙයි
හදවත නුඹගේ
මේ අහස තරම් ආදරය තිබූ
නුඹෙයි මගෙයි මිනිසුන්ම නොවේදෝ
මේ මුළු රටටම ගින්දර තැබුවේ
ඉර හැංඟෙන ගොළු මූදම වාගේ
ආදරයම නළලත හඬනවදෝ
නුඹෙයි මගෙයි ආදරයට වාගේ
ඇහැළ මාසයම තව ඇවිළෙනවා”
ඇසූ පරිදි මේ ගීතයට කපුගේ ශූරීන් තනු යොදා විදේශ ගත වුවද, ඔහුට එය ගයන්නට නොලැබුණේ ඔහුගේ අවාසනාවට බව ජාගොඩ මහතා විටෙක මාහට ප්‍රකාශ කරන ලදි. මඩු පල්ලිය අද කතෝලික දේවස්ථානයකි. නමුත් මේ භූමියේ අතීතයේ තිබි ඇත්තේ පත්තිනි දේවාලයකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් “මඩු භූමිය” කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරද නොහොත් මරත ශාක නිසාවෙන් “මරද” යන නමත් ලැබී අවසානයේ “මරද මඩු” යන නම හෝ “දෙවොල් මඩු” යන නම මෙම ඉසව්වට භාවිතා කර ඇත.
තවද මන්නාරම් සංචාරයේ තවත් එක් නවාතැනක් නම් තිරුකේතීෂ්වරම් කෝවිලයි. ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ පිදුමන් ලබන ප්‍රධාන ශිව කෝවිල් පහෙන් එකක් නම් මේ මන්නාරම තිරුකේතීෂ්වරම් කෝවිලයි. මන්නාරම තිරුකේතීෂ්වරම් හැරුන විට ත්‍රිකුණාමලය කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, නගුලේශ්වරම් කීරිමලේ හා තේනවරම් දෙවුන්දර කෝවිල් අනෙක් ශිව කෝවිල් වේ.
මේ කෝවිලේ නිර්මාණය සම්බන්ධව විවිධ පුරාවෘත බොහෝමයක් පවතී. එක් කතාවකට අනුව, තිරුකේතීෂ්වරම් නිර්මාණය කරලා තියෙන්නෙ, රාවණා රජුගෙ බිසවගේ පියා විසින් ශිව දෙවියන් වැඳීම උදෙසාය. හින්දු ආගමේ එන දෙවි කෙනෙක් ලෙස සලකන “කේතු” හට ශිව දෙවියන් මුණ ගැසුණ ස්ථානය මෙය ලෙස සැලකීමද තවත් පුරාවෘතයකි. තිරුකේතීශ්වරම් ලෙසින් මෙම ප්‍රදේශය නම් වන්නේත් ඒ නිසාවෙන් ය. ඔය ගමන යන අතරවාරයේ තමා දකින්නේ මාතොට රජ මහා විහාරේ. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට පෙරහැරින් වැඩම කරද්දී ප්‍රථම රැය නවාතැන් ගත් ස්ථානය ලෙස මෙම පුදබිම ජනප්රවාදයේ අදටත් පැවතෙයි.
විශාරද දීපිකා පීරිස් ගයන මාතොටින් එන උතුරු හුලගේ ගීතය මා වසර ගානක් එහාට ගෙන යන්න සමත් උනේ විනෝතිනී නම් දමිළ කිවිදිය නිසාවෙනි.
මා තොටින් එන උතුරු සුළගේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුලු හංගන
සරෝජා මගේ දෝනියේ…….
වෙඩිහඩට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුබ
ඒත් අපි එක පංතියේ

කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමිනි. එහෙත් යුද්ධයේ අදුරු මතක අබියස ගුරු පත්වීමක් ලබා පානමට යන මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය. එහි උන් සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවේය.
යුද්ධයේ අදුරුම දශකයන් පිරි කාල වකවානුවක දිවිගෙවා අද සමාජයේ ඉහළින් වැජඹෙන ඈ නමින් ශර්මිලා විනෝතිනී ය. තරුණ කිවිදියක වන ඇය ඇයගේ පළමු කවි පොත ලෙස “ඉරප්පාඩිගලින් නාට්කුරිප්පු” (නයිටිංගේල් කුරුල්ලාගේ දිනපොත) ලෙස 2016 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදි. එම පොතෙහි ඇය විසින් රචනා කරනු ලැබු පළමු කවිය වන “நம்பிக்கை நூல்” නම් බලාපොරොත්තුවේ ගෙත්තම මෙලෙස ඉදිරිපත් කළ හැක.

வெற்று மரத்தின் கீழ்
வேற்றுக்கிரக வாசிகளாய்
இன்னும்
ஏத்தனை நாட்களுக்கு
எமது பயணம்?
විශ්වාසයයි ආයුධය
නුපුරුදු ගසක් යට
නුපුරුදු ග්‍රහලෝක වැසියන් සේ
තවත් කොපමණ කාලයකට ද
යන කවිය 83 වන පිටුවේ පළ කෙරුණි. හුදෙක් යුද්ධයේ අදුරු මතකයන් එක්කාසු කරගෙන නිදහස් ලොවක් දකින්නට පෙම්බැදි සදාදරණීය ලෙන්ගතු හදවතක් සතු ඈ තවත් එක් පබැදුමක මෙසේ සදහන් කරයි.

எனக்கும் முளைக்கும்
சிறகுகள்
எனக்கும் கிடைக்கும்
ஒரு வானம்.
දිනක අපටත් තටු ලැබේවි
අහසකුත් ලැබේවී……….
යුද්ධයෙන් බැට කෑ මන්නාරම යුද්ධයෙන් පසු වර්තමානයේ යාන්තම් හිස ඔසවමින් පවතී. ජාත්‍යන්තර වශයෙන් සිය ආධිපත්‍යය පෙන්වීමට දෝ හෝ ඉන්දියාව වහාම උතුරු දුම්රිය මාර්ගයත් වව්නියා සිට තලෙයිමන්නාරම දක්වා කොටසත් නැවත පිහිටුවන්නට ආධාර ලැබී ඇත. පැරණි ජැටිය ආසන්නයේම අලංකාර ලෙස දිස්වන ලයිට් හවුස් එකක්ද පිහිටා තිබේ. ඒ ප්‍රදීපාගාරය පහළ මස් මරන්නෝ රැසක් සිය බෝට්ටු නවතාගෙන ඒ ධීවර රාජකාරිවල නිරත වෙනු උදෑසනක ගියොත් දැකගන්න පුලුවන.
තවද ඉන්දියාව තෙක් විහිදුණු වැලිපරය ගැන අමතක කළ නොහැකිය.ඒ නම් ආදම්ගේ පාලම නැත්නම් රාමාගේ පාලමය.වාල්මිකී ලියූ රාමායන වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව විසින් ආදම්ගේ පාලම තනා ඇත. වසර ගණනාවක් තිස්සේ මෙම දූපත් පෙළ පාලමක් ද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් පැවතුණේ නැත.
“මහ සයුරේ ඝෝෂාව
ඔවුන්ගේ නොනැමෙන මහ හඬින්
යටපත් කරමින්
නල විසින් නිමැවූ පාලම උඩින්
යුහුසුලුව ආහ ඔවුහු ලක් තෙරට”
රාමායනයේ පාලම ඉදිකිරීම ගැන මෙසේ සදහන් වෙයි. නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව විසින් දින පහක කාලයක් තුළ පාලම තනා නිම කළ බවත් ගස්, ගල්, සහ පර්වත මුහුදේ යෙදීමෙන් ඔවුන් එය ඉදිකර ඇති බවත් ඉන් කියවිණ. එකකින් එකක් යාවෙන පරිදි නොගැඹුරු මුහුදු තීරයේ වූ වැලිපර ඉන්දියාවේ ධනුෂ්කෝඩිය තෙක් පිහිටා ඇත. වැලිපර ස්ථායි නොවන නිසා නිවැරදිවම එකිනෙක යා වේදැයි හරියටම කියන්නට නොහැකිය.

“ආදරයේ සංකේතය ” මේ මාස කීපයේ මන්නාරමට ළගා වී ඇත.නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරන් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය පෘථිවියේ වූ චුම්භක ක්ශේත්‍ර හරහා ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත් මුල් වාසභූමිවල ශීත දේශගුනයෙන් මිදීමත් සදහාය. අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උණුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිර සීමාවේන් ඇතුල්වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්ත වේ.
රෝස කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලගේ ඇවිදීමටම සකස් වූ ඒවාය. පියැඹීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිත වේ.
“සියක්කාරයෝ” නම් පොළවේ සීසාන්නෝය. ඔවුන්ද සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් ය (Greater flamingo (Phoenicopterus roseus) සිංහලෙන් කියන්නේ නම් රජ සියක්කාරයාය, දෙමලෙන් නම් පෙරුම් පූනාරේය (பெரும் பூநாரை) . වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේද අලිමංකඩ ,සරසාලේ, කුරුවික්කාඩු,තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙයි. පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යටදී පවා විවර වී ඇත. මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානය. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක් ය. අනතුරක් සැල වේ නම් රංචුවම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විදානයකටැයි මට හැගේ.
කෙසේ හෝ මන්නාරම් කලපු ආශ්රිත රාජ සියක්කාරයන්ගේ ග්රහණයෙන් මා මිදිය යුතුය. පරිසරයටත් සංවේදී යාපනයේ ආගන්තුකයා රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලන් බැලීමට නැවතත් යාපනය බලා සේන්දු විය යුතුය.

විදුනි බස්නායක










