2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් පාඩු කල බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.
එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළේය.










