ඊයේ (30) දිනයේදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට පැමිණි බාහිර පුද්ගලයන් විසින් එල්ල කළ බව කියන බිත්තර ප්‍රහාරය ‘කුණු බිත්තර ප්‍රහාරයක්’ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.
අද (31) අලුයම එකට පමණ මෙම සටහන තබන අමාත්‍යවරයා කියන්නේ ‘ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එහි නායකයා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක්’ එල්ල වී ඇති බවයි.
එහෙත් ඊට තමාගේ සම්බන්ධයක් ඇති බවට ගෙනයන ප්‍රචාරයන් තමා දැඩිව හෙලා දකින බව ඔහු පවසා ඇත.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය ෆේස් බුක් හී තබා ඇති සම්පූර්ණ සටහන මෙසේයි.
“සියලු දෙනාගේම විශේෂ අවධානයට. කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එහි නායකයා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට මා සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ ව තිබේ. එය මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස සිද්ධිය දැඩි ලෙස හෙලා දකිමි. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව ඕනෑම ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගන්නා සහ ඊට ගරු කරන පුද්ගලයකු ලෙස මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට දැනටමත් මා කටයුතු කර ඇති බව අවධාරණය කරමි”










