බොලිවුඩ් සිනමාව සම්බන්ධයෙන් අපේ ජනතාව තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. මේ උනන්දුව අද ඊයේ නොව වසර ගණනාවක සිට පවතින්නකි. හින්දි සිනමාවට සම්බන්ධ නළු නිළියන්ද, අපේ රටේ අතිශයින් ජනප්‍රියය. හින්දි තරුවලට පෙම් බැඳීම විලාසිතාවක් බවට පත්ව ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිටය. ජැකලීන් ෆර්නැන්ඩස් බොලිවුඩ් රංගන ශිල්පිනියක් බවට පත් වීම අපේ රටේ බොහෝ දෙනකුට ආඩම්බරයට කරුණක් වූයේද ඉහත කරුණු මතය. ඒ ඇය ශ්‍රී ලංකේය සම්භවයක් සහිත කාන්තාවක වීම හේතුවෙනි. ශ්‍රී ලාංකේය පියෙකුට සහ මැලේසියානු ජාතික මවකට දාව කොළඹදී උපත ලබා ඇති ජැකලීන් තම ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇත්තේ බහරේන් රාජ්‍යයේය. එසේ වුවද, ශ්‍රී ලාංකික සම්භවය හේතුවෙන් 2006 වසරේ ශ්‍රී ලංකා රූ රැජින බවට පත් වීමටද ඇයට හැකි විය.
මීට පෙර ජැකලීන් සහ බොලිවුඩ් සිනමාව සම්බන්ධ බොහෝ දේ අසා තිබුණද, පසුගිය කාලය පුරා බොලිවුඩයෙන් ඇය සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ එතරම් යහපත් තොරතුරු නොවේ. ඒ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය කටයුතු කර ඇති බවට වාර්තා වීමත් සමඟිනි. ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදලක් සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී ඒ ආකාරයෙන් ජැකලීන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය කටයුතු කර තිබිණි. ඒ මීට මාස කිහිපයකට පෙරය.
ජැකලීන්ගෙන් එලෙස ප්‍රශ්න කිරීමට හේතු වී තිබුණේ ඇය සහ නම ගිය ඉන්දීය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් අතර පැවතියේ යැයි පැවසෙන හිතවත්කමය. දරුණු ගණයේ මූල්‍ය අපරාධකරුවෙකුවන සුකේෂ් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර එලෙස වංචා කළ මුදල් ජැකලීන් සඳහා වියදම් කළ බවද සුකේෂ් විසින් පවසා ඇත. ජැකලීන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය කටයුතු කළේ ඒ අනුවය.
කෙසේ වුවද, එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ ජැකලීන් පවසා තිබුණේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය. සුකේෂ් චන්ද්‍රසේකර්ගේ බිරිඳ වූ නිරූපණ ශිල්පිණියක වන ලීනා පෝල් හරහා තමන් සුකේෂ්ව හැඳින සිටි නමුත් ඉන් එහා ගිය හිතවත්කමක් නොතිබූ බවය. එමෙන්ම සුකේෂ් තමන්ගෙන්ද මුදල් වංචා කළ බව ජැකලීන් ප්‍රකාශ කළාය.
සිදුවීමෙන් මාස කිහිපයකට පසුව දැන් නැවත වරක් ඒ සම්බන්ධයෙන් සෑම දෙනාගේම අවධානය යොමුව ඇත්තේ ජැකලීන් සහ සුරේෂ් නාන කාමරයක් තුළ සිපගනිමින් සිටියදී ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟය. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වන කරුණු අනුව හෙළිවන්නේ එම ඡායාරූප ඇතුළත්ව තිබූ ජංගම දුරකතනයද මුදල් විශුද්ධිකරණය අදාළ අපරාධවලට සම්බන්ධ වී ඇති එකක් බවය.
එම ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ තමන් සහ සුකේෂ් අතර සමීප හිතවත්කමක් නොතිබූ බවට ජැකලීන් කළ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත. දැන් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ජැකලීන් යනු සුකේෂ්ගේ අනියම් පෙම්වතිය වන බවය.
ඉන්දීය මාධ්‍යවල අදහස වී ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර් යනු සුවිශේෂී අපරාධකරුවෙකු වන බවය. කර්ණාටක ප්‍රාන්තයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ සුකේෂ් මිනිසුන් රවටමින් නොයෙක් ආකාරයේ මූල්‍ය වංචා සිදුකිරීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 17 සිටය. ඔහු ඒ සඳහා යොදා ගෙන ඇති ක්‍රමය වන්නේ ඉහළ නිලධාරීන් මෙන් පෙනී සිටිමින් මිනිසුන් රවටා මුදල් වංචා කිරීමය. බැංගලෝර් සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රකට ව්‍යාපාරිකයෙකු රවටා මුදල් වංචා කර ගැනීමට සුකේෂ් සමත් වී ඇත්තේ වයස අවුරුදු 18ට සම්පූර්ණ වීමටත් පෙරදීය.
ඉන් පසු එම සංවර්ධන අධිකාරියේ නිලධාරියා මෙන් පෙනී සිටිමින් පුද්ගලයන් 100ක් පමණ රවටා මුදල් වංචා කිරීමට සමත් වී ඇති සුකේෂ් පළමුවරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ 2007 වසරේදීය. නිදහස ලැබීමෙන් පසුව තම වංචාවන් තවත් පුළුල් කර ඇති සුකේෂ් ඒ සඳහා කණ්ඩායමක්ද සම්බන්ධ කර ගෙන ඇත. ඉන් පසුවද අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට පත් වූ සුකේෂ් තම කටයුත්ත නවතා දමා නැති අතර ඇප මත සිටියදී පවා එම වංචාවන් ඒ ආකාරයෙන්ම සිදුකර ගෙන යෑමට ඔහු සමත් වී ඇත. සුකේෂ් ජැකලීන් සමඟ හිතවත්කම ගොඩනඟා ගෙන ඇත්තේද වෙනත් පුද්ගලයෙකු මෙන් පෙනී සිටිමින් ගත් දුරකතන ඇමතුමක් හරහාය. එහිදී සුකේෂ් පෙනී සිට ඇත්තේ ශේඛර් රත්නවේලා යන නමිනි. අවස්ථා කිහිපයකදී ඒ ආකාරයෙන් ජැකලීන්ට සමීප වීමට සුකේෂ් කටයුතු කළ නමුත් ජැකලීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර පසුව ජැකලීන්ගේ වේශ නිරූපණ ශිල්පියා වන ෂාන් මුත්තානීල් සම්බන්ධ කර ගැනීමට ඔහු සමත් වී ඇත.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිංගේ සමීප හිතවතකු බවය. තමන් ඇමතුම ලබා දෙන්නේ එහි සිට බවද ඔහු පවසා ඇත. එහිදී තමන් හිටපු තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ පවුලේ හිතවතෙකු බවද ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ එම ව්‍යාජ දේශපාලනික හිතවත්කම් මත ජැකලීන් සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට ශේඛර් රත්නවේලා නමින් පෙනී සිටි සුකේෂ් සමත් වී ඇත.
ජැකලීන් ඉන්දීය අපරාධ අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔහු නමගිය අපරාධකරුවෙකු බවට ඇයට කිසිසේත්ම නොසිතුණු බවය. ශේඛර් පෙනී සිටියේ තම රසිකයෙකු ලෙස බවද ඇය ප්‍රකාශ කර ඇති අතර තමන් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් යැයි ඔහු පැවසූ බවද ජැකලීන් අපරාධ අංශ වෙත පවසා ඇත.
ඉන්දීය රජයේ ප්‍රබල දේශපාලනික හිතවත්කම් මවා පාමින් තමන්ට සමීප වූ ශේඛර් රත්නවේලා යනු ඉන්දියාවේ ප්‍රබල අපරාධකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් බව ජැකලීන් දැන ගත්තේ සියල්ල සිදුවීමෙන් අනතුරුවය. අත්අඩංගුවට පත් වූ සුකේෂ් පොලිසියට පවසා ඇත්තේ තමන් ජැකලීන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කළ බවය. ජැකලීන් මෙතෙක් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණද, ඔහු සමඟ ගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් වීමෙන් අනතුරුව තත්ත්වය දැන් වඩාත් බරපතළ වී ඇත. එම හිතවත්කම කෙතරම් දුරදිග ගිය එකක්දැයි හෙළි වනු ඇත්තේ ඉදිරි පරීක්ෂණවලින් පසුවය.
මේ අතර මේ වන විට ඉන්දියාවෙන් බැහැර වීම ජැකලීන් ෆර්නැන්ඩස්ට තහනම් කර ඇත. ඒ හේතුවෙන් හෘදයාබාධයකට ලක් වී බහරේනයේ රෝහල් ගතව සිටින තම මෑණියන් බැලීම සඳහා යෑමටද ඇයට නොහැකි වී ඇත. ඇයගේ මෑණියන් රෝගාතුරු වී ඇත්තේද මෙම තොරතුරු දැන ගැනීමෙන් පසුවය.
ඉන්දියාවේ ප්රකෝටිපතියන් මුළා කරමින් කෝටි ගණනින් වංචා කළ සුකේෂ් අවසානයේ ශ්‍රී ලංකේය සම්භවයක් සහිත බොලිවුඩ් තාරකාවක්ද මුළා කිරීමට සමත් වී ඇත. එය සාමාන්‍ය රැවටීමකට එහා ගිය දෙයක් වන්නේ ඔහු වංචාවෙන් ඉපයූ මුදල්ද ඊට සම්බන්ධ වීම මතය. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍යවල අදහස වී ඇත්තේ මේ සම්බන්ධ සියලු තොරතුරු නුදුරේදීම හෙළි වනු ඇති බවය.
චන්දන පොන්නම්පෙරුම










