රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා සිරගත කර වසරක් සම්පූර්ණ වන දිනයේදී හරින් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ එස්.එම්. මරික්කාර් යන මන්ත‍්‍රීවරු ඔහුගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අතර, රංජන් නිදහස් කරගැනීමේ දීප ව්‍යාප්ත සටහනක් ආරම්භ කරන බවටද සහතික වූහ.
රට පුරා සියලුම ගම්වලට ගොස් රංජන් නිදහස් කරගැනීමේ සටන ක‍්‍රියාත්මක කරන අතරම අති විශාල ජනකායක් කොළඹට ගෙනවිත් රංජන් රාමනායකට නිදහස ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරන බවද මෙහිදී අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පැවසුවේය.
මේ වන විට ජනාධිපති සමාව සහ වෙනත් ආකාරයේ සමාවන් ලැබ සිරකරුවන් හැත්තෑ හය දෙනෙක් නිදහස් කර තිබෙන බවද, එහෙත් මේ වන තෙක් රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා නිදහස් කර නොමැති බවද හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කීවේය.
එහිදී අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේ කීවේය.
මේ ආණ්ඩුව ආවට පස්සේ හොරකම් කළ අය, ස්ත‍්‍රී දූෂණ කරපු අය අම්මලා තාත්තලාගේ සොහොන් ආණ්ඩුවේ සල්ලිවලින් හදපු අය නිදහස් වෙලා. හොරකම් කරපු නැති, බොරු නොකියපු රංජන් රාමනායක හිර ගෙදර. අනික් හැමෝම නිදහස් කරනවා .රංජන් රාමනායක වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු සියල්ල අපි කරලා තියෙනවා. මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීම, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒත් අද වන තුරු කිසි ප‍්‍රතිචාරයක්නෑ.
හොරකම් කරපුල මිනී මරපු අයට නිදහස ලැබිලා. ඒත් රංජන් හිර ගෙදර.
සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු එකට එකතුවෙලා රංජන්ගේ නිදහස වෙනුවෙන් අරගලයකට අපි සූදානම් වෙනවා. ඇත්ත කියපු බොරු නොකියපු රංජන් නිදහස් කිරීම වෙනුවෙන් ඒකරාශී වෙන්න කියලා ඉල්ලනවා
මෙහිදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා මෙසේ පැවසුවේය.
රංජන් රමනායක නිදහස් කිරීම සදහා දීප ව්‍යාප්ත ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. අසාධාරණ ලෙස රංජන් රාමනායක සිරගත කර වසරක් ගතවන දවසේදී අපි රංජන් නිදහස් කරගැනීම වෙනුවෙන් ජනතාව සමග සටනක් ආරම්භ කිරිමට කටයුතු කරනවා. ඒ සදහා වන දැවැන්ත අරගලයකට අපි අද සිට පණ පොවනවා.











