වර්තමානයේ බොහෝ මවුපියන් තම කුඩා දරුවන් කරන කියන දේවල් බලා සිටින්නට අපහසු යැයි සිතා ඔවුන්ට රූපවාහිනිය නරඹන්නට සලස්වා තමන්ගේ කටයුතු කිරීමට පෙලඹී සිටිනවා. ඒත් එහි ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවෙන්නේ අනාගතයේදියි. එවැනි දුර්විපාකයකට ගොදුරුවූ දරුවන් පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හොරොව්පොතාන පහළ කුඹුගොල්ලෑව ඉඳිපිටිය ප්‍රදේශයෙන්. එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශය වන ජනප්‍රිය ඉන්දියානු ටෙලිනාට්‍යයක ‘ශිවන්‍යා’ සහ ‘ශේෂා’ යන චරිත රඟපාන ඉන්දියානු නිළියන් වන මවුනි සහ රෝයි සොයා ගිය දරුවන් තිදෙනෙක් පිළිබඳවයි එම පුවතෙන් කියැවුණේ. මේ දරුවන් තිදෙනා හිටි හැටියේ තම නිවෙස්වලින් අතුරුදන්ව තිබූ නිසා ඔවුන්ගේ මවුපියන් හොරොව්පොතාන පොලිසියට පැමිණිලි කර තිබුණා. අතුරුදන් වූ දරුවන් අවුරුදු 8, 12සහ 13 යන වයස්වල පසුවන්නන් වන අතර, 31 වැනිදා අලුයම 4.30ට පමණ නිවෙසින් පැනගොස් ඇති බවයි කියැවුණේ.
කෙසේ වෙතත් මවුපියන්ගේ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයේදී දෙසැම්බර් 31 වැනිදා දරුවන්ව සොයා ගැනීමට පොලිසියට හැකිව තිබුණා. දරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබුණේ ඉන්දියානු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට දැක්වූ දැඩි ආශාව නිසාම එම චරිතය රඟපාන ඉන්දියානු නිළිය සොයා යෑමේ අරමුණෙන් ඔවුන් නිවෙසින් පිටත්ව ගොස් ඇති බවයි.
දරුවන් තම නිවෙසේ සිට කිලෝමීටර දෙකක් දුරින් පිහිටි ඝන වනාන්තරය මැදින් වැලිමුවපොතාන හන්දියට පාගමනින්ම ගොස් තිබුණේ අලුයම අඳුරද නොතකමින්. එම මංසන්ධියෙන් අලුයම 5.45ට පමණ ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් කරන ලංගම බස් රථයකට නැඟී කැබිතිගොල්ලෑව නගරයට පැමිණ තිබෙනවා. යළිත් කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය දක්වා දිවෙන බස් රථයකට ගොඩවන්නට ඔවුන්ට සිදුවුණෙ යාපනය දක්වා ගමන් කරන බස් රථයක් සොයා ගන්නට නොහැකි වීම හේතුවෙන්. අනතුරුව ඔවුන් කහටගස්දිගිලියේ සිට හොරොව්පොතාන බලා යන බස් රථයක නැග හොරොව්පොතානට පැමිණ ඇති අතර, හොරොව්පොතානෙන් යාපනය බලා යන බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිට තිබෙනවා. මේ ආකාරයට යාපනයට යෑමේ අරමුණ මේ දරුවන් තිදෙනා තුළ ඇතිවී ඇත්තේ ඔවුන්ගේ මිතුරකු පැවසූ කරුණක් නිසා බවද අනාවරණ වී තිබෙනවා. මිතුරා පවසා ඇත්තේ ශිවන්‍යා ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් ඇයව හමුවීමට ඇති පහසුම ක්‍රමය යාපනයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට යෑම බවයි. ඒ අදහස සිතේ තබාගත් දරුවන් තිදෙනා මෙලෙස නිවෙසින් පලාවිත් ඇත්තේ යාපනයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යෑමේ අරමුණ ඇතිවයි. මේ සියලු තොරතුරු පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දරුවන් පවසා තිබුණා. දරුවන් සිය මවුපියන්ගේ ජංගම දුරකතනවලින් ඉන්දියාව පිළිබඳ තොරතුරු සොයාගැනීමට උත්සාහ දරා ඇති බවද ඔවුන් පවසා තිබුණා. එසේම ඔවුන්ගේ මෙම ගමනට කලක පටන්ම සූදානම් වෙමින් ඒ සඳහා මුදල් ඒකරාශී කරන්නටද දරුවන් කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවුණා.
පොලිසිය විසින් දරුවන් සොයාගන්නා විට ඔවුන් සතුව තිබී ඇත්තේ රුපියල් 1,200ක මුදලක් පමණයි. දරුවන්ගේ නොදැනුවත් බව වටහා ගන්නට එයම කදිම උදාහරණයක් සපයනවා.
දරුවන්ගේ මවුපියන්ගෙන් පොලිසිය සිදුකළ කරුණු විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තම දරුවන් අදාළ ඉන්දීය ටෙලිනාට්‍යය නැරඹීමට දැඩිව ඇබ්බැහිව සිටින බවත්, තම ජංගම දුරකතන ඉල්ලාගෙන එමගින්ද ඉන්දීය ටෙලිනාට්‍යය නරඹන බවයි. කෙසේ වෙතත් අවසානයේ නිරුපද්‍රිතව සොයාගත් දරුවන් තිදෙනාව ඔවුන්ගේ මවුපියන් වෙත භාරදුන් අතර, දරුවන්ට සහ මවුපියන්ට දැඩිව අවවාද කිරීමටයි හොරොව්පොතාන පොලිසිය පියවර ගෙන තිබුණේ. දරුවන් පිළිබඳ මවුපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව පොලිසිය දැඩිව අවධාරණය කළ කරුණක් වුණා. මෙම සිදුවීම පිළිබඳ විමර්ශන පැවැත්වූයේ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන (1801), ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සැරයන් රංජනී (35911), පුෂ්පකුමාර (55687), රාජපක්ෂ (8595) යන මහත්ම මහත්මීන් විසිනුයි.
ඉහත අතුරුදන්වීමට සමාන තවත් සිදුවීමක් පසුගිය නොවැම්බර් මාසයේදීද වාර්තා වී තිබුණා. ඒ, කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන්. බාල වයස්කාර දැරියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ මවුපියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් දරා දින තුනකට පසුව දැරියන් සොයාගැනීමට පොලිසියට හැකිවුණා. එම දැරියන්ද නිවෙස්වලින් හොර රහසේ පැනගොස් තිබුණේ කොරියාවේ බ්ලැක් පින්ක් නමැති නර්තනයට දැඩිව ඇබ්බැහී වීම හේතුවෙන් බවත්, එම නර්තනය හැදෑරීමේ අරමුණෙන් බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබුණා. එම සිදුවීම පිළිබඳවද ‘මව්රට’ අපි පසුගිය සතියක සටහනක් තැබුවා ඔබට මතක ඇති.
වර්තමානයේ බොහෝ දරුවන් ජීවත් වන්නේ මනෝමය ලෝකවල. නොදැනුවත්කම නිසාම, අනවබෝධය නිසාම රූපවාහිනියෙන් දකින, අන්තර්ජාලයෙන් දකින විවිධ චරිත සිතින් මවාගෙන ඒ චරිත තුළ ජීවත් වීමට මේ දරුවෝ ප්‍රිය කරති. රූපවාහිනී නාලිකාවල අද පවතින්නේ ඉතා තරගකාරී ටෙලිනාට්‍ය පෙළගැස්මක්. එකකට එකක් නොදෙවැනි ලෙස නිර්මාණය වන මෙම ටෙලිනාට්‍ය මාලා සෑම රූපවාහිනී නාලිකාවකම ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව ඇත. ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවන බව දැනුණු විට එම ටෙලිනාට්‍යවල අවසානය වෙනස් කොට තව තවත් දීර්ඝ කර ප්‍රදර්ශනය කිරීමට බොහෝ ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සේම රූපවාහිනී නාලිකාවල බලධාරීන්ද කටයුතු කරනු දැකගත හැකියි. ඒ අතරින් බොහෝ ටෙලිනාට්‍යවල දක්නට ලැබෙන්නේ පවුල් ආරවුල්, විවාහ ජීවිතවල අර්බුද, අනියම් සබඳතා මෙන්ම දරුවන් සහ මවුපියන් අතර ඇති බැඳීම විනාශ වී යන අන්දමේ සිදුවීම්ය. මිනිසාගේ විනෝදාස්වාදය සහ බුද්ධිමය අවදිය පිණිස නිර්මාණය විය යුතු කලා මාධ්‍යයක් වන ටෙලිනාට්‍යවල එම වටිනා අරමුණ අද වන විට ගිලිහී ගොස් ඇති අයුරු මැනැවින් නිරීක්ෂණය වන කරුණකි. විවේකයක් ලද විගස රූපවාහිනී තිරය ඉදිරිපිට පෙළ ගැසෙන අපේ දරු පරපුර ඒ ඔස්සේ මනසට හුරුකර ගන්නේ ඉහත සඳහන් කළ අවරගණයේ ටෙලිනාට්‍යවල චරිතයන්ය. එම චරිතවල පහත් ගති ලක්ෂණයන්ය. ඒ ඔස්සේ සමාජයට දායාද වන්නේ ගුණධර්මවලින් තොර හිස් දරු පරපුරක් බව මේ වන විටද විiමාන වෙමින් ඇති සත්‍යයකි.
එසේම ස්මාර්ට් ජංගම දුරකතනය අද දරුවන්ටද අත්‍යාවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. ඒ හරහාද විවිධ වීඩියෝ ක්‍රීඩා, අසභ්‍ය වෙබ් අඩවි සහ දරුවන්ගේ මානසිකත්වයට නොගැළපෙන බොහෝ දේ කෙරෙහිද අපේ දරු පරපුර බොහෝ සෙයින් ඇබ්බැහිවී ඇති බව නොරහසකි.
මෙවැනි තත්ත්වයක් මත දරුවන් ආරක්ෂා කරගැනීමට මවුපියන් සහ වැඩිහිටියන් සතු වගකීම ඉතා විශාලයි. නව තාක්ෂණික මෙවලම්වලින් දරුවන් ඈත් කිරීමෙන් තොරව ඒවා නිසි පරිදි භාවිතයට ගැනීමට ඔවුන් හුරුකළ යුතුව ඇත. ඒ සඳහා මවුපියන් නිරන්තරව තම දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමුකිරීම සිදුකළ යුතු අතර, දරුවන්ට ඉතා කරුණාවෙන් හොඳ නරක වටහාදීම සිදුවිය යුතු මූලිකම කරුණකි.
එදිනෙදා තරගකාරී ජීවන රටාවන් හමුවේ දරුවන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට බොහෝ මවුපියන්ට හැකියාවක් නැති බව අසන්නට ලැබෙන කරුණකි. එවැනි තත්ත්වයක් තුළ දරුවන් නොමඟ යෑම කෙසේවත් වළක්වාලිය නොහැක්කකි. ඉහත සඳහන් කළ සිදුවීම් දෙකෙහිම මවුපියන් තම දරුවන් කෙරෙහි දක්වා තිබූ අවධානය අඩුවීම මත එම දරුවන් වැරැදි දේට යොමුවූ බව ඕනෑම අයකුට පෙනී යන කරුණකි. එබැවින් කොයි තරම් වැඩ රාජකාරි තිබුණද තම දරුවන් පිළිබඳ සොයා බලා ඔවුන් ගැන අවධානයෙන් පසුවීම වර්තමානයේ මවුපියන් සතු ප්‍රමුඛ වගකීමක් බව සිහිපත් කළ යුතුය.
එසේ නොවුණහොත්, තරගකාරී මාධ්‍ය නාලිකාවල විකාශය වන අවරගණයේ වැඩසටහන්වල බාල චරිත අනුකරණය කරමින් ඒ ඔස්සේ සමාජයට දායාද වන්නේ සාරධර්මවලින් තොර හිස් චරිත පමණක්ම බව වෙසෙසින් සඳහන් කළ යුතුය.
නිලන්ති රේණුකා










