රෝයල් පාර්ක් ඝාතකයා හට තමන් ජනපති සමාව ලබා දුන්නේ අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රභූ කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් අනුව බව කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.
එම ඝාතකයා නිදහස් කිරීමත් සමග සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය මත ජනපති මාධ්‍ය ඒකකය මෙම නිවේදනය නිකුත් කරමින් ජනාධිපතිවරයා බේරා ගැනීමට කටයුතු කොට ඇත.
එම නිවේදනයේ මෙසේද සදහන්ය.
රාජගිරියල රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස ආගමික නායකයින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් නීතිඥයින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අතර උන්වහන්සේ විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.
එසේම උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිතුමා වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවත් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිටීම මෙන්ම බන්ධනාගාරගතව සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොටල ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත් මෙම තරුණයා මනා පෞර්ෂයකින් යුත් උගත් බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් එය සාධාරණ හා මානුෂික කාරණයක් වනු ඇති බවත්ය.
එසේම බුද්ධ දේශනාව අනුව යමින් කරුණාල දයානුකම්පාවෙන් යුක්තව මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස දල පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිරයන්වහන්සේ ගරු ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන්හ.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මැතිනිය අතිගරු ජනාධිපතිතුමා වෙත මෙම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සහිත ලිපියක් මඟින් පෙන්වා දුන්නේ මෙම ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය මේ වන විටත් වසර 15කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවත් ඔහු බන්ධනාගාරය තුළ සිටියදීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව සහ මුල්‍ය සම්බන්ධව බාහිර උපාධියක් සම්පූර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවත් ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලා ඔහු ගත කර ඇති සිර දඬුවම් කාලය ද සලකා සානුකම්පිත පදනමින් ඔහුට සමාව ප්‍රදානය කිරීම සාධාරණ වන බවයි.










