ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද ඒ සදහා සම්බන්ධ වී සිටින්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නඩුවලට පෙනී සිටි නීතීඥවරුන් බවත්, එය මහ විහිළුවක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ අයගෙන් වත් උපදෙස් ගන්නේ නැතැයි ද මොනවා වෙනවා දැයි කියා ඇමැතිවරු පවා දන්නේ නැතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
“ඒ නිසා මේ සිදුවන දේ වල වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයා යි.නව ව්‍යවස්ථාවක් හදන විට ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.ස්වාධීන කොමිෂන් වලට නිදහස දුන්නේ නැතිනම් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ලැබෙන්නේ නැහැ.තමා අසාර්ථක වී ඇති බව ජනාධිපති ම කියනවා .ඒකට හේතුව එතුමාමයි. එතුමා කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. තනිව වැඩ කරලා ඔහු අමාරුවේ වැටිලා.දැන් ව්‍යවස්ථා හදන්නේ ජනාධිපති ගේ නඩුවලට පෙනී සිටි අයයි .මෙය විහිළුවක්”යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
රටේ නීතියේ උත්තරීතර බව දිනෙන් දින අඩු වන බවට ජාත්‍යන්තර මතයක් ඇතිවී තිබෙන්නේ යැයිද යුරෝපා සංගමයේ නියෝජිත හමුවක දී ඔවුන් ද ඒ සම්බන්ධයෙන් තමාට කරුණු කීවේ යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.










