අද වන විට රටේ ධීවර ජනතාව බලවත් පීඩාවකට ලක්ව සිටින බවත් එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුනු විනාශයට අඩු තරමේ ධීවර ප්‍රජාවට හෝ වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කොට නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව බහුජාතික කම්පැනිවල රූකඩයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව මේ රටේ ධීවර ජනතාවගේ අයිතීන් විදේශීය ඩොලර් කාක්කන්ට පවරා ඇති බවත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) “ගොවි හදගැස්ම” වැඩසටහනට සමගාමීව ධීවර ගැටලු විමසීමේ වැඩසටහනකට ද එක් විය.
අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිත ධීවර ප්‍රජාව හමුවූ විපක්ෂ නායකතුමා ඔවුන් ගේ ගැටලු පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කළේය.
ඒකාන්ත වශයෙන්ම සමගි ජන බලවේග රජයක් යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරන බවත් මේ රටේ මත්ස්‍ය අස්වැන්න නෙලන ධීවර ප්‍රජාවගේ ජීවිත ගොඩ නැංවීමේ කටයුත්ත ඉටු කරන බවත් එහිදී විපක්ෂ නායකතුමා පැවසීය .
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදාරච්චි, හිටපු මන්ත්‍රීවරුන් වන බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද එක්ව සිටියහ.
අපේ රට වටේට නාවුක සැතපුම් දෙසීයකට එහා අනන්න්‍ය ආර්ථික කලාපයක් (Exclusive economic zone) අප රට සතුව ඇති බවත් එය අපේ රටේ ගොඩබිම මෙන් අට ගුණයකට වඩා විශාල බවත් එවැනි විශාල මුහුදක් තිබියදීත් ධීවර කර්මාන්තයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනයට එක්වනුයේ 1.2% -1.3 දක්වා ප්‍රමාණයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රටට ලැබෙන මාළු අස්වැන්නෙන් අපනයනයට සුදුසු ප්‍රමිති මට්ටමේ තිබෙන්නේ 20% කටත් අඩු ප්‍රමාණයක් බවත් ඒ තත්ත්වය වෙනස් කරන්නට නම් මේ රටේ ධීවර කර්මාන්තයේ දැවැන්ත විප්ලවීය වෙනසක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ඒ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එය වසර පහෙන් පහට වෙනස් නොවන තිරසාර වැඩපිළිවෙළක් විය යුතු බවත් ඒ මහතා පැවසීය.
රට ගුණාත්මක මත්ස්‍ය පරිභෝජනයෙන් ස්වයංපෝෂිත කිරීමත්, ඒ වගේම අපනයන මත්ස්‍ය සම්පතක් දක්වා එය වර්ධනය කිරීමත් අවශ්‍යයෙන්ම කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එය සමගි ජනබලවේගයේ දැක්ම බවද පැවසීය.
මේ පිළිබඳව ප්‍රායෝගික සහ විෂයානුබද්ධ දැනුම ඇති ධීවර පර්යේෂණ කමිටුවක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එම පර්යේෂණ කමිටුව විසින් මේ දිනවල සමගි ජන බලවේග ධීවර ප්‍රතිපත්තිය සකස් කරමින් සිටින බව ද පැවසීය. එමෙන්ම කාටත් වඩා ධීවර ප්‍රශ්න පිළිබඳව දන්නේ ධීවර ප්‍රජාව බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ අදහස් මේ මොහොතේ අතිශය වැදගත් බවද පැවසීය. වායු සමනය කළ කාමරවල සිටින ලොක්කන්ට වඩා ධීවර ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇත්තේ ධීවර ප්‍රජාවට ම බව ද ඔවුන්ගේ අත්දැකීම් සහගත යෝජනාවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් සිය ධිවර ප්‍රතිපත්තිය සකසන බවද ඒ මහතා පැවසීය.















