පාලන මිල ඉවත් කිරීමේ නිදහස භාවිත කරමින් යම් පාර්ශවයක් සහල් මිල වැඩිකිරීමට කටයුතු කරනවා නම්, රජය හා පාරිභෝගික අධිකාරිය වගකීමෙන් යුතුව ඒ සඳහා මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඒ අනුව සහල් මෝල් හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර තිබෙන සහල් මිල ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විටත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ මුලික කටයුතු සිදුකර අවසන් බවත් පැවසු ඒ මහතා, ජනතාවට සාධාරණ මිලක ට එම සහල් ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බව ද පැවසීය.










