හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය පොලීසියට නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, අද (30) පෙරවරු 8.30 ට දේහය ඩයගම සුසාන භූමියේදී ගොඩගෙන නිරෝධායන උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කරන ලෙසයි.
රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා බී. වාර්තාවක් මගින් අද කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළේ, මියගිය ඉෂාලිනි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසය.










