මත්පැන් බෝතල් සඳහා ඇලවීමට නියමිත ස්ටිකර ටෙන්ඩරය ආසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට භාරදීමට නියමිත බව වාර්තා වේ.
මෙම ටෙන්ඩරය ලබා ගැනීම පසුපස පසුගිය යහපාලන රජයේ හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සිටින බව දැනගන්නට තිබේ.
මෙම හිටපු කැබිනට් ඇමැතිවරයා ඩීල් කප්පිත්තකු ලෙස අතීතයේ සිටම නමක් දිනාගෙන සිටින්නකු වන අතර වත්මන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් සමගද ඉතා සමීප සබධතාවක් පවත්වාගෙන යන අයකු ලෙස සැලකේ.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද විශාල කතාබහක් මතුවූ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා දිගින් දිගටම මේ පිළිබද තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණ.
පසුගියදා මුදල් අමාත්‍යාංශය වෙත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කරමින් අදාළ ඉන්දීය සමාගම පිළිබඳව සිය මතය ද දැනුම් දී ඇත.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ මෙම ස්ටිකර් ඇලවීම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 10ක පමණ රජයට අහිමි වන බදු මුදලක් හිමිකර ගැනීමට හැකි වනු ඇති බවයි.
මෙම ස්ටිකර ඇලවීමේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.










