රටටම පිළිලයක් බවට මේ වන විට පත්ව ඇති පාතාලය යැයි අද හදුන්වන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඉතිහාසය පිරිස්සීමේදී කඩුවෙල කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ නමගිය පාතාල අපරාධකරු ලෙස සැළකෙන්නේ උපාලිය. මේ කියන උපාලි රටේ කුප්‍රකට සොත්ති උපාලි නොව, සොත්ති උපාලිගේද ආශිර්වාදයෙන් කඩුවෙල රජකල ඔහු වෙනත් උපාලියෙකි. මෙකී උපාලි කඩුවෙල රජ කළේ අසූව දසකයේ අග බාගයේදීය. ඒ කුප්‍රකට සොත්ති උපාලිගේද ආශිර්වාදය ඇතිවය. මේ කියන උපාලි ජයවර්ධනපුර රෝහල ආසන්නයේදී ඝාතනයට ලක්වන්නේ රංගනාත් නැමැති ඔහුගේම ගෝලයෙකුගේ ප්‍රහාරයකිනි.
උපාලිගෙන් ඒ තැන ගන්නේ ඔහුගේ සහෝදරයාය. කඩුවෙල වසන්තයැයි කීවේ ඔහුටය. උපාලි මෙන් නොව, වසන්තට දේශපාලන හයියද තිබුණේය. කොළඹ ඒ වන විට සක්‍රීයව පැවැති පාතාල කල්ලි නායකයින් රැසක් සමග කඩුවෙල වසන්ත සම්බන්ධකම් පවා ගොඩ නගාගෙන සිටියේය. ඒ නිසාම සිය සහෝදයාවූ උපාලි කඩුවෙලට පමණක් සීමාකරගෙන සිටි සිය පාතාල අධිරාජ්‍ය හංවැල්ල අතුරුගිරිය දක්වාම ව්‍යාප්ත කළේය. වසන්තගේත් ඉරණම ලියැවෙන්නේ සිය ගෝලයෙක් අතිනි. ඒ 2001 වසරේ මැයි 26 වෙනිදාය. එදා වෙසක් පොහොය දවසයි. වසන්ත සිය ගෝලබාලයින් සමග රෝසා බස් රථයකින් උදෑසන යන්නේ නවගමුව පොලිස් ස්ථානයටය. ඒ අධිකරණ නියෝගයකට අනුව පොලිස් ස්ථානයේ පෙනී සිටීමටය. එදා ඝාතනය වන්නේ වසන්ත පමණක් නොව, බස් රථයේ සිටි ඔහුගේ ගෝලබාලයින් 08 දෙනෙක්ද සමගිනි. හමුදා වෙසින් ඔහුන්ව එදා පැහැර ගෙනගොස් නවගමුවේදීම එක පොදියට වෙඩි තබා මරා දමන්නේ කරාටේ ධම්මික නැමැති අපරාධකරුගේ සැළසුමකට අනුවය.
එතැන් සිට කොළඹ තරුණ දේශපාලනඥයෙකුගේ රැකවරණය ඇතිව වැඡඹුණු කරාටේ ධම්මික මුළු කඩුවෙලම සිය අණසකට ගත්තේය. ඔහුට කප්පම් නොගෙවමින් කඩුවෙල පැත්තේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් පවා උදා වීය. ධම්මිකගේ ඉරණම තීරණය වන්නේ 2011 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව වූ දේශපාලන ගැටුමක් සමගිනි. තරුණ දේශපාලනඥයාගේ බලය ඒත් එක්කම හීන විය. ඒත් එක්කම කරාටේ ධම්මික පස්සේ පොලීසිය පන්නන්නට ගත්තේය. පොලීසියෙන් බේරෙන්නට ධම්මික රඹුක්කන වල්පොල පැත්තේ රහසිගත ජීවිතයක් ගතකරන්නට ගත්තේය. එහෙත් ඔහුට සුදු වෑන් රථ කල්ලියෙන් බේරී සැගව සිටින්නට ඉඩක් නොවීය.
කඩුවෙල රජකල තවත් එක් පාතාලයේ කල්ලි නායකයෙකුගේ කථාව එසේ නිමවන විට එම හිඩැසට රිංගන්නේ අරුණ උදය ශාන්ත පතිරණ නොහොත් සමයංය. ඔහුගේ නම ඉදිරියේ පළමු අපරාධය ලියැවෙන්නේ 2007 වසරේදීය. ඒ වැලිපිල්ලෑවේ සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමක් ගැනය.එම ඝාතන තැතය පොලීසියට හසුවී බන්ධනාගාර ගත වන සමයං 2008 වසරේදී බන්ධනාගාරයෙන් එළියට එන්නේ රට වටේම අපරාධකරුවන් රැසක් සමග සම්බන්ධකම් ගොඩ නගාගෙනය.
කරාටේ ධම්මිකට එහා යමින් ඔහු දැවැන්ත සමාගම් වලින් පමණක් නොව, කඩුවෙල පැත්තේ බුලත් විට කඩෙන් පවා ඔහු ගෝලයින් යොදා කප්පම් ගත්තේය.
දේශපාලන හයියෙන්ද ඉදිමුණු සමයං සිය පාතාල අධිරාජ්‍ය අංගොඩ සහ අතුරුගිරිය දක්වා ව්‍යාප්ත කරන්නට ගත්තේය. ඒ වන විට අංගොඩ පැත්තේ සිය අනසක පතුරුවාගෙන සිටියේ අංගොඩ ලොක්කාය. අතුරුගිරිය පැත්තේ අණසක පතුරුවාගෙන සිටියේ බාල්දි ප්‍රියන්ත සහ ලඩියා ඇතුළු කණ්ඩායමකි. සමයං ඒ අයට හිසරදයක් බවට පත්වන විට මාකදුරේ මධුෂ්ගේද සහය ඇතිව ඔහුට වැඩක් දෙන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා කළුතර සිට කොළඹ අධිකරණයට සමයං රැගෙන එමින් තිබුණු බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ලකරමිනි. කළුතර එතනමඩලේදී එල්ලවූ එම ප්‍රහාරයෙන් සමයං සමග ඔහුගේ ගෝලයින් සිව් දෙනෙක්ම බස් රථය තුළදී ඝාතනය විය. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන්ද දෙනෙක් ද රජකාරිය වෙනුවෙන් සිය ජීවිතය පුදකරනු ලැබීය.
සමයංගෙන් පසු කඩුවෙල බලය බෙදී යන්නේ ඔහුගේ ගෝලයින් අතරය. ඒ අය අතර බයියා, ඉන්ද්‍රා, ඌරු ජුවා, චමියා සහ ගොත අසංක අතර පැවතියේ දැඩි තරගයකි. මේ තරගය එකිනෙකා මරා ගන්නා තැනටම උඩු දුවන්නට විය. ඒ නිසාම ගොත අසංක මේ තරගයෙන් ඉවත්වෙමින් අලුත් හාම්පුතෙක් සොයාගෙන ගියේය. ඒ මාකිලන්ගමුවේ සංජීවය. අදටත් ගොත අසංක සිටින්නේ මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙක් ලෙසිනි. චමියා ඩුබායි පැන්නේය. ඒ ඉන්ද්‍රා , බයියා සහ ඌරු ජුවා සමග ගහ මරා ගන්නට තරම් ශක්තියක් නොවූ තැනය.
ඒ අනුව අවසානයේදී සමයංගේ තැන ගන්නට ඉතිරිවන්නේ ඉන්ද්‍රා, බයියා සහ ඌරු ජුවා පමණි. සමයංගේ ගෝල පැටව්න් මේ තිදෙනා අතර බෙදී ගියේය. තනිබලයක් තිදෙනාගෙන් එක් අයෙකුටවත් නොවූ තැන ඌරු ජුවා සිය පාතාල අධිරාජ්‍ය කඩුවෙල ගොඩනගා ගත්තේය. සමයංගේ බලය විහිදී තිබුණු හංවැල්ලේ බලය ඉන්ද්‍රා ගොඩනගා ගත්අතර බයියා සිය බලය හෝමාගම සහ ගොඩගම පැත්තේ තහවුරුකර ගත්තේය.
තතුදත් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව බයියා පාතාලයේ චරිතයක් බවට පත්වන්නේ බස් රථ ව්‍යාපාරිකයෙක් 2017 ජනවාරි 18 වෙනිදා ඝාතනය කරමිනි. බයියාගේ පළමු මිනිස් ඝාතනය වන්නේ එයය. එහෙත් බයියාට වැඩි කාලයක් පාතාලයේ සෙල්ලම් පාන්නට ඉඩක් නොවීය. පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු මරුමුවට පත්වන්නේ මහනුවර වත්තේගමදීය. ඒ ජනා නැමැති ඔහුගේ ගෝලයා සමගිනි.
ඒ වන විට ඌරු ජුවා සහ ඉන්ද්‍රා අතර ගැටුම් ඉහළ ගියේය. ඊට මුල්වන්නේ ඌරු ජුවා කඩුවෙල පමණක් නොව, හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන්ද කප්පම් ගන්නට පටන් ගැන්මය. ඌරු ජුවාගේත් ඉන්ද්‍රාගේත් මේ තරගය හේතුවෙන් අසරණ වන්නේ හංවැල්ලේ ව්‍යාපාරිකයන්ය. ඒ නිසාම මේ අයට කප්පම් දෙන්නට නොහැකිව ව්‍යාපාර වසා දමා ව්‍යාපාරිකයන් රැසක්ම හංවැල්ල අතහැර ගියහ. ඒ හංවැල්ල පොලීසියෙන්ද සහනයක් නොවූ තැනය. ඒ වන විට ඔවුන් දෙදෙනාම සිටියේ හිරේය. ඉන්ද්‍රා හිරේ යන්නේ සමයංට ඩුබායිවලින් ලද කොන්ත්‍රාත්තුවකට අනුව 2016 වසරේ නොවැම්බර් 20 වෙනිදා මහනුවර අංකුඹුරේදී මොහොමඩ් රූෆි නැමැති තරුණයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමකටය. ඉන්ද්‍රාගේ නම ඉදිරියේ ලියැවෙන පළමු මිනිස් ඝාතනය වන්නේ එයයි. ඩුබායි හී සැගව සිටින මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් මුජහිඩ්ය. එම කොන්ත්‍රාත්තුව ලැබෙන විට සමයං සිටින්නේ බන්ධනාගාරගතවය. එම තරුණයා ඝාතනය කිරීමට මුල්වන්නේ මුජහිඩ්ගේ බිරිද සමග ඔහු ෆේස්බුක් මගින් සම්බන්ධයක් ගොඩනගාගෙන සිටීමේ වරදටය.
ඌරු ජුවා හිරේ ළගින්නේ 2015 වසරේ මැයි 06 වෙනිදා නවගමුවේ හෝටලයකදී දිනේෂ් රුවන් චාමර නැමැත්තාව කපාකොටා ඝාතනය කිරීමකටය. එම ඝාතනය සමයං විසින් මෙහෙයවා තිබුණේ හිරේ ඉදන්ය. 2015 වසරේ සැත්තැම්බර් 23 වෙනිදා අංගොඩ ලොක්කාගේ සැළසුමකට අනුව කඩුවෙල අධිකරණයේදී සමයංට වෙඩි තබන විට ඌරු ජුවා සහ චමියා සිටියේද සමයං සමගිනි. ඒ බන්ධනාගාරයේ සිට නඩුකටයුත්තකට සමයං සමග ඔවුන් දෙදෙනාවද රැගෙන විත්ය. එදා සමයංට වෙඩි තබන විට චමියාත් ඌරු ජුවාත් පැන ගත්තේය. චමියාව මිරිහාන පොලීසියේ නිලධාරීන් දින කිහිපයකට පසු අත්අඩංගුවට ගන්නා විට ඌරු ජුවා පොලීසියට භාරවිය. එතැන් සිට ඌරු ජුවා සිටියේ හිරේය. ඇප ලැබුණත් ඔහු හිරෙන් එළියට ආවේ නැත. ඒ ඉන්ද්‍රාට බියෙනි. ඌරු ජුවා ඇතුලේ ඉදන් සැලසුම් කරන්නේ ඉන්ද්‍රාට වැඩක් දෙන්නටය. ඒ දවස උදාවන්නේ 2019 වසරේදීය. ඒ ඉන්ද්‍රා ඇප මත එළියට අවේය. ඉන්ද්‍රගේම ගෝලයෙක් මුදලට නම්මාගත් ජුවා සැලසුම් සහතව හංවැල්ලේදී ඉන්ද්‍රාට කුළී ඝාතකයෙක් යොදා වෙඩි තැබුවේය. එහිදී ඉන්ද්‍රා ජීවිතයට හානියක් නොවූවත් වෙඩි උණ්ඩ කිහිපයක්ම ඔහුගේ සිරුර හරහා ගමන් ගත්තේය.
ඒත් එක්කම ඉන්ද්‍රාගෙන් ජුවාගේ ගෝලයන්ට ප්‍රහාර එල්ලවන්නට ගන්නේ හංවැල්ලේ පාතාල භීෂණයක් හිස ඹසවමිනි. එය මැඩලන්නට පොලීසිය පියවර ගන්නේ ඉන්ද්‍රාව අල්ලා හිරගෙදරට යවමිනි. කාලයක් හිර ගෙදර බත්පතේ රස බලමින් සිටි ඉන්ද්‍රා නැවතත් කලඑළි බසින්නේ 2020 වසරේදීය. එහෙත් ඔහුට වැඩි ආයුෂ නොවීය. නවගමුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. ආයුධ සොයා පොලිස් මෙහෙයුමක් දියත් වන්නේ 2020 අගොස්තු 28 වෙනිදාය. පොලිසිය කියන්නේ ආයුධ පෙන්වීමට රැගෙන යමින් සිටියදී සිදුවු යම් සිදුවීමක් හේතුවෙන් ඉන්ද්‍රා වෙඩි කා මරුමුවට පත්වූ බවය. මාංචු පිටින් රැගෙන යමින් සිටි ඉන්ද්‍රා පොලිස් රථයේ රියදුරාගේ ගෙල සිරකර පළායාමට සූදානම් වූ අවස්ථාවේදී වෙඩි තැබූ බව පොලීසිය කීවේය. ඒ ඉදුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රාගේ අවසානය පොලීසියට ඇවැසි ලෙස ලියැවුණු ආකාරයයි.
ඌරු ජුවා ඒත් එක්කම බලවත් වන්නේ කඩුවෙලම බලය අල්ලමිනි. ඒ වන විට ඔහු හිරේ ඉදන් ජංගම දුරකතනයෙන් කඩුවෙල පැත්තේ ඇති බහුජාතික සමාගම් සහ මෙරට ප්‍රමුඛම සමාගම්වලින්ද කප්පම් ගත්තේය. එම සමාගම්වලට මෑන් පවර් සහය ලැබුණේද ඌරු ජුවා හරහාය.
සමයංගේගේ කණ්ඩායමේ සිටි චූ කොල්ලෙක් වූ ඌරු ජුවා 2015 වසරේ මැයි 06 වෙනිදා නවගමුවේ හෝටලයේදී දිනේෂ් රුවන් චාමරව කපාකොටා ඝාතනය කරන විට වයස අවුරුදු 24 ක්වත් නැති තරම්ය. ඔහු එදා ඒ ඝාතනයට සම්බන්ධ වන්නේ සමයං කී නිසාය. ඒ වන විටත් ඌරු ජුවා සිටියේ පාතාලයේ උණ ඇගට අරන්ය. ඌරු ජුවල් යාම නිසාම (දැඩි කේන්තිකාරයෙක්) භෞතිස්ම වූ ඌරුජුවා යන නාමය ඔහුට පාතාල වැඩවලට හොදින්ම ගැලපුනේය.

සමයංගේ මරණින් පසු නවගමුවේ බලය හිරේ ඉදන් අත්පත්කරගනිමින් ඌරු ජුවා සිය හයිය පෙන්වන්නේ 2017 වසරේ අප්‍රේල් සිංහල අවුරුද්ද උදාවීමට හෝරා කිහිපයක් තිබියදී පිඩලි තුෂාර නැමැති ව්‍යපාරිකයාව ඝාතනය කරමිනි. ඒ කඩුවෙල කොතලාවලදීය.
ඌරු ජුවාට පුද්ගලික ගැටුමක් පිඩලි තුෂාර සමග කාලයක් තිස්සේ තිබුණේය. ඒ පෙම් පලහිලව්වකි. ඌරු ජුවා පෙමින් වෙලී සිටියේ පිඩලි තුෂාරගේ වැඩි මහල් සහෝදරියගේ දියණිය සමගිනි. ඌරු ජුවා සූදානම්ව සිටියේ ඇයව විවාාහකර ගන්නටය. ඌරු ජුවාගේ හැටි දන්නා පිඩලි තුෂාර එම විවහායට විරෝධය පාන්නේ දියණියගේ අනාගතය ගැන සිතාය. පිඩලි තුෂාරට වෙඩි පත්තුවන්නේ ඒත් එක්තමය.
ඌරු ජුවා සිය පාතාල අධිරාජ්‍ය ගොඩනගන්නේ දැඩිගමුව කේන්ද්‍රකරගෙනය. ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙකි. ජුවා සිහින මවන්නේ පාතාලයේ ගෝඩ්ෆාදර්වරයෙක් වන්නටය. ඒ වෙනුවෙන් ඔහු වැඩි වැඩියෙන් ගෝල බාලයින් රැස් කරන්නට ගත්තේය. එම ගෝලයින්ව රැක බලා ගන්නට මුදල් උවමනාය. ඉවක් බවක් නොමැතිව ඔහු කප්පම් ගැනීමට පෙළඹුනේ ඒ වෙනුවෙනි.
හිරේ ඉදන් වැඩ පෙන්වූ ඌරු ජුවා වසර ගණනාවක්ම හිරේ රැදී සිටියේ අධිකරණයෙන් ඇප මත නිදහස් කර තිබියදීය. ඇප කොන්දේසි ඉටුනොකර ඔහු හිරේ සිටියේ ඉන්ද්‍රාගෙන් ගැලවෙන්නටය. ඉන්ද්‍රාගේ මරණින් පසු එළියට එන්නට ඌරු ජුවා අවස්ථා කිහිපයක්ම සූදානම් වූවත් පොලිසියෙන් වෙඩි කන්නට සිදුවේවියැයි සිටියේ දැඩි බියකිනි. වැලිකඩ සිට ඔහු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවෙන්නේ මේ අතරය. ඔහු එහි සිට සැලසුම් කරන්නේ රටින් පළාගොස් ඩුබායි වැනි රටක සිට කඩුවෙල පාලනය කරන්නටය. ඒ අනුව ඔහු සියල්ලක්ම සූදානම් කරගනිමින් වසර හයක සිර සිරගෙදර ජීවිතයට සමුදී එළියට එන්නේ ඉකුත් 10 වෙනිදාය. එහෙත් ඔහුට ඒ නිදහස වැඩි කාලයක් භුක්ති විදින්නට ඉඩක් නොවීය. නවගමු පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුය අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. ඒ හිරේ ඉදන් කළ අපරාධ ගැනය. එය එතැනින් හමාර වූයේ නැත. ආයුධ පෙන්වන්නට පොලීසිය සමග ඔහු ගියේය. ඒ 11 වෙනිදාය. එදා රෑ ඌරු ජුවාගේ ඉරණම විසදෙන්නේ පොලීසියේ වෙඩි උණ්ඩයෙනි.
ඒත් එක්කම දැන් චමියා ඩුබායි සිට වැඩ අල්ලමින් ඉන්නේ ඌරු ජුවාගේ තැනට පත්වෙමිනි. 2011 වසරේදී සිය නාමය ඉදිරියේ කෙසෙල්වත්තේ කිත්සිරි ඝාතනයේ චෝදනාව ලියවාගෙන සිටින චමියා පහුගිය දිනවල කඩුවෙල පැත්තේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා තිබීමක් ගැන බුද්ධි අංශ සිටින්නේ නිරන්තර අවධානයකිනි. ඒ ඌරු ජුවාගෙන් පසු චමියාගේ හිසරදයෙන් කඩුවෙල ව්‍යාපාරික ප්‍රජාව බේරා ගන්නටය.
රුවන් වෙඩිවර්ධන










