කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිවෙසේ කොරෝනා එන්නත විදින බවත්, ඒ පොදුජනතාවට නොව තමතමන්ගේ හිතවතුන්ට බවත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
මේ බව කොළඹ ප්‍රධාන වෛද්‍යවරිය හෝ නොදන්නා බවද උන්වහන්සේ කියා සිටියහ.
තමන් වහන්සේ මෙය වගකීමෙන් යුතුව කියා සිටින බවත්, ඒ නාමලේ්ඛනය පවා තමන් සතුව ඇති බවත් උන්වහන්සේ කීහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (08) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“කොළඹ මහ නගරසභාවට අයත් ප්‍රජා මධ්‍යස්ථාන 14ක් තිබියදී ඇයි මේ කොළඹ මහ නගරසභාවේ බලධාරීන් ප්‍රජාශාලාවන්, පොඩි පොඩි හෝල් වගේ තැන්වලට ගිහිල්ලා ඇයි මේ එන්නත විදින්නෙ කියලා ලොකු සැකයක් ඇතිවුණා. මම අද (08) උදේ කතා කළා අපේ විජයමුණි වෛද්‍යවරයාට, එතුමා කිව්වා අනේ හාමුදුරුවනේ, අපට එච්චර ගණනකට දෙන්න පුළුවන්කමක් නෑ, එකක් දෙකක් නම් මොකක් හරි කරලා දෙන්නම් කියලා.
මම මේක හොයලා බැලුවා මේක ඇත්තද කියන එක. මට දැනගන්න ලැබුණ වාර්තාව අනුව මම බයනැතුව කියනවා, පුළුවන් නම් අපෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් මොකක් හරි කඩාපනින හමුදාවක් හරි දාලා මෙන්න මේ තැන් චෙක් කරන්න. මාතෘ නිවාස ගණනාවක් කොළඹ තිබෙනවා. බොරැල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානයෙ තියෙනවා 550ක් ඉතුරුවෙලා. වැල්ලවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයෙ තියෙනවා 1122ක්. නිව් බසාර් මාතෘ නිවාසයෙ තියෙනවා ඉතුරුවෙලා 2277ක්. මොහිදීන් මස්ජීඩ් සෞඛ්‍ය මධ්‍යස්ථානයෙ තිබෙනවා 1210ක්. කිරුළ මාතෘ නිවාසයෙ තිබෙනවා 1034ක්. තවත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක තියෙනවා 1045ක්. එතකොට ඔක්කොම එකට එකතු කරලා බලපුවාම තිබෙනවා 7238ක්. මේ 7238ක් මේ තැන්වල තියාගෙන තමයි කිව්වෙ මේක නෑ කියලා. මේක ලොකු ප්‍රහේලිකාවක් අපට. මං මේ වගකීමෙන් කියන්නෙ. මුදලට යන ඒවාත් දැන් මේවායෙ වෙලා තිබෙනවා. මොකද මනුස්සයා ජීවිතේ රැකගන්න කැමතියි.
අපි කතා කරන්නෙ, මං මේ කතා කරන්නෙ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ලොකු අය පිළිබඳව නෙවෙයි මං මේ කතා කරන්නෙ. මේ අය බලයට පත්කරන්න හැමතැනම කෑගහලා, පෙළපාලි ගිහිල්ලා තාප්පවල පෝස්ටර් ගහපු ඒ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ගැන මම මේ කතා කරන්නෙ. අද ඔවුන්ට යන එන මං නෑ. ඔවුන්ට තිබෙන්නෙ මහපාරෙ වැටිලා මැරෙන එක පමණයි” යැයි උන්වහන්සේ පවසයි.










