රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනයගරුක ජනතාවක් ලෙස සියලු පුරවැසියන් කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදාවී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සෞඛ්‍ය පිළිවෙත් සිහි තබා ගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම බවයි.
එම අලුත් අවුරුදු සුබ පැතුම මෙසේය.
සමස්ත ශ්‍රී ලාංකේයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල හින්දු අලුත් අවුරුද්දක උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමඟ එක්වෙති.
ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත් අලුත් අවුරුද්ද සමඟ යළි සිහිපත් වේ.
රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ.
එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.
ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිහිපත් කරමි.
අලුත්වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැළකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇත.
ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී අපි සියලු දෙනා අදිටන් කරගමු.
ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! යැයි මම ප්‍රාර්ථනා කරමි.










