දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
ඒ, අදාළ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ බලරහිත කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කරනු ලබන්නේ ඒවා අධ්‍යයනය සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සදහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු දෙදෙනෙකු සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු පත් කර ඇති බව ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන එහිදී අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉන් අධ්‍යයනය කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටියේය.
එමෙන්ම, දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිවරයාට හෝ අල්ලස් කොමිෂන් සභාවට කිසිදු උපදෙස් ලබා දීමක් සිදු කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
අදාළ පෙත්සම්වලට අදාළ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළ අතර එම පෙත්සම් මැයි මස 12 වනදා සලකා බැලීමට නියමිතය.










