දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ බලරහිත කරන ලෙසට ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
කොමිෂන් සභාවේ නිර්දේශ ස්වභාවික යුක්ති ධර්ම මූලයන්ට පටහැනි ලෙසට නිකුත් කර ඇති බවත් නඩු කටයුතුවලින් වැරැදිකරුවන් වූ පුද්ගලයන් නිදහස් කොට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයන්ට නඩු පැවරීමට මෙම කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් සරත් ෆොන්සේකා චෝදනා කරයි.
මෙම කොමිෂන් සභාවේ නිර්දේශ මගින් තමාගේ සිවිල් අයිතිවාසිකම් ද අත් හිටුවීමට ඉඩ ඇති බවත් ඒ තුලින් තම අයිතිවාසිකම් මෙම කොමිෂන් සභාව විසින් උල්ලංඝනය කර ඇති බවත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටී.










