ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තොගය නිල වශයෙන් බාර ගැනීමට පියවර ගත්තේය.
එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.
පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.
එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.
රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් එම කටයුතු සිදුකෙරෙන අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබා දෙනු ඇත.
කෙසේවෙතත් ඉදිරියේදී පෞද්ගලික ආයතන තම සේවකයන් සඳහා ලබාදීමට සිදුකරන ඉල්ලිම් මත එන්නත් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ.
එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළයුතු අතර එහි සියලු අධික්ෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබයි.
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබේ.











