ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් වයස අවුරුදු හතරයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල, නිල්වැල්ල, ඇතුලස්සවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
තද උණ තත්ත්වය හේතුවෙන් ප්‍රථමයෙන් දික්වැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති මෙම දැරිය, රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මාතර මහ රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එදිනම ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යවා ඇත.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දැරිය මිය ගොස් තිබේ.
ගාල්ල ජාතික රෝහලේදී ඊයේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සහ අවස්ථාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවයි.
මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77,000 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ඊයේ (20) දිනයේදී රෝගීන් 984 දෙනෙකු වාර්තා වී ඇත.










