කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri Lanka Latest News
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
එමෙන්ම, 2026 වසරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන ආයතනික රැකවරණය සහ භාරකාරිත්වය, වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භනී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාවක් ලබා දීමේ වැඩසටහන, පෙර පාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන, පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ‘ගුරු අභිමානී’ දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.
ගර්භනී මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබා දීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර, එහි අපේක්ෂිත අරමුණ වන ගර්භනී මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එම දීමනාව කඩිනමින් අදාළ දරුවන් වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සමාජය තුළ සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීමේ සහ ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වයද මෙහිදි සාකච්ඡාවට ලක් කෙරිණි. මෙම කටයුතුවලදී නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා 2027 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම එම දත්ත මත පදනම්ව සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් , කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද, මුදල් අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.











ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-20










