හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (16) අලුයම සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.Sri Lanka Latest News
අදාළ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළ මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
එතැන සිට මීටර් 45ක පමණ දුරක් ලේ පැල්ලම් සහිතව ශරීරය ඇදගෙන විත් ඇළ මාර්ගයට දමා ඇති බව නිරීක්ෂණය වී තිබේ.
වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි දෙදරු පියෙකි.
ඇඟලුම් ආයතනයක සේවය කරන ඔහු, පෙරේදා (15) රාත්‍රී 7ට පමණ ‘PickMe’ සේවාව හරහා යතුරුපැදියකින් පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබේ.
මොහු අතුරුදන් බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.
මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් මුහුණේ කොටස් කා දැමීමෙන් එය හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් විකෘති වී ඇත.
හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.










