පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද මෝසමක් මඟින් යළි කැඳවුණි.
අදාළ මෝසම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
එහිදී පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් කියා සිටියේ, මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ සලේ 2026 ජුනි මස 05 වැනිදා රාත්‍රීයේ සිට ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර 2026 ජුනි මස 07 වැනිදා සිට ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවය.
ඒ අනුව මේ වනවිට සැකකරු විශේෂඥ වෛද්‍යරුන් සිව්දෙනෙකුගේ නිරීක්ෂණය යටතේ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කළේ දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම විමර්ශනයට අගතිදායක වන අන්දමින් හා අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් අතිවන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවය.
“ස්වාමිනි, දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක වන ආකාරයෙන්, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධාවන අන්දමින් සහ අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා. එම තැනැත්තන් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මෙන්ම සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පුද්ගලයින්. ඒ අනුව ඔවුන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනකට අපහාස කිරීමේ පනතේ 3 (1) (අ), 2 (අ), (ඇ) (1) (2) (3) සහ (ඉ) (1) (2) (3) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ ඇති බවට අනාවරණ වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. මෙම වැඩිදුර වාර්තාව මඟින් ඔවුන් සිදුකළ ප්‍රශ්නගත ප්‍රකාශ සහ එම ප්‍රකාශ තුළ ඇති අධිකරණයට අපහාසවන ආකාරයේ වාක්‍ය කණ්ඩ උපුටා දක්වා තිබෙනවා.”
ඒ අනුව අදාළ ප්‍රකාශ ප්‍රචාරණය කළ ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති ටීවී , වසන්තම් ටීවී, හිරු ටීවී, ටීවී දෙරණ සහ ටී.එන්.එල්. යන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටත් එම ප්‍රචාරණයන්ට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාගැනීමටත් අවසර ලබාදෙන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එසේම අදාළ ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් 06 දෙනා 2026 ජුලි මස 01 වනදා අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයන්ට නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවය.
“ඇයි මේ එම තැනැත්තන් අධිකරණයට ගෙන්වන්න ඉල්ලන්නේ. ඔවුන් මේ අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අදාළ විමර්ශනය සිදුකරලා කරුණු සලකා බැලීමකින් පසු කෙලින්ම අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරන්න පුළුවන්. එවිට ඔවුන් කෙලින්ම අභියාචනාධිකරණයට හේතු දැක්විය යුතුයි.”
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අදාළ තැනැත්තන් ඉදිරි නඩු දිනයේ අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර විමර්ශනයට අදාළ සෙසු ඉල්ලිම් සඳහා නියෝග නිකුත් කළේය.
අදාළ පුද්ගලයින් 06 දෙනා අතුරින් මහින්ද පතිරණ නැමැත්තා ප්‍රශ්නගත ප්‍රකාශ සිදුකිරීම FACEBOOK ඔස්සේ සිදුකර ඇති බැවින්, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නඩුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ජුලි 01 වනදා යළි කැඳවීමට නියමිතයි.











