පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුළේ කුමාර ජයකොඩිගේ විශ්වාසභංගය හේතුකොට ගෙන මෙවැනි සිදුවීම් පෙළක් වාර්තා වෙද්දී කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ විශේෂ සිදුවීමක්ද පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවිය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවී විශේෂ සාකච්ඡාවකට එක්වීමය. පසුගිය කාලයේදී මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම පාහේ ආණ්ඩුවේ නියෝජිතයන් හමුවී පසුව විපක්ෂයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීම සම්ප්‍රදායක් කොට ගෙන තිබුණද, මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස හත අටක් ගතවන විට මෙම තත්ත්වය වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණ ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා කළද, විපක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා පිට පාරෙන්ම ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට එරෙහිව විපක්ෂය අවස්ථා ගණනාවකදීම කළ පැමිණිලි හේතුකොට ගෙන මෙවර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණි අවස්ථාවේදී විපක්ෂයේ පක්ෂ නායකයන්ටද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ, විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් කතානායක කාර්යාලය හරහා කරනු ලැබ තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති එම සාකච්ඡාව ඉතා උණුසුම් එකක් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
ඊට හේතු වූයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා වත්මන් තත්ත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හේතුකරගෙනය. එහිදී රවී සාකච්ඡාව ආරම්භයේදීම සිය දැඩි අප්‍රසාදය මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේ එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේදී කළ ප්‍රකාශයකටය. .
‘මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලංකාවෙන් යද්දී ආණ්ඩුව ගෙනයන මූල්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. එතුමිය ආණ්ඩුවට පක්ෂපාතී විදියට අදහස් දක්වමින් කියලා තිබ්බේ ආණ්ඩුව ආර්ථිකය හොඳට හසුරුවනවා, රටේ ආර්ථික වර්ධනය හොඳයි වගේ කතාවක්. හැබැයි එතුමිය කිසිම තැනක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන වචනයක්වත් සඳහන් කරලා තිබ්බේ නෑ. මම හිතන්නේ ඒක එතුමියට නොගැළපෙන වැඩක්. ඒ ගැන අපිට ලොකු කලකිරීමක් තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ආර්ථිකය බංකොලොත් වුණාට පස්සේ අයි.එම්.එෆ්. එකත් එක්ක කතා කරලා රට ඇතුළේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා රටේ ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට ගන්න කටයුතු කළේ. ඒ නිසා අඩුම තරමේ එතුමියට තිබුණා වචනයකින් හරි රනිල් වික්‍රමසිංහ මහත්තයට ස්තුති කරන්න. අද ආණ්ඩුව අරන් යන්නෙත් එතුමා ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති. කිසි වෙනසක් කරලා නෑ. එහෙම එකේ එතුමිය ආණ්ඩුවට පක්ෂපාතී විදියට ප්‍රකාශයක් කරපු එක වැරැදියි…’ යනුවෙන් කී රවී, එතැනින් නොනැවතී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැනත් අපට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ රටක් තවදුරටත් ණය උගුලේ හිරකරන්නේ නැතුව ඒ රට ණය ගන්න එක නවත්තලා ආර්ථිකය දියුණු කරන එකයි. නමුත් දැන් මූල්‍ය අරමුදල කරන්නේ ලංකාවේ ආර්ථිකය තවදුරටත් ණය ගන්න තැනට හසුරුවමින් ඉන්න එක. අඩුම තරමේ මූල්‍ය අරමුදල ඒකට මැදිහත් නොවී ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්…’ කී රවී ඊට උදාහරණද ගෙනහැර දැක්වීමටත් පියවර ගත්තේය.
මේ ආකාරයට රවී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට තේරෙන භාෂාවෙන් සරල ඉංග්‍රීසියෙන් සිය ස්ථාවරය පැහැදිලි කරද්දී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ඇස් උඩ තියාගෙන පුදුමයට පත්ව රවී දෙස බලා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඉන් අනතුරුව රවී මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය.
‘සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල රටක් එක්ක ඉදිරියට ගනුදෙනු කරන්නේ ඔවුන් සමග අස්සන් කළ කොන්දේසිවලට අනුකූලවයි. දැන් ලංකාවේ එහෙම වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදලත් එක්ක කටයුතු කරද්දි ඒ රට දූෂණයෙන් තොර විනිවිද පෙනෙන සුළු ආර්ථික ප්‍රතිපත්තියක් අරගෙන යන්න ඕනේ. නිවැරැදි ආර්ථික ක්‍රමවේද මත පිහිටලා කටයුතු කරන්න ඕනේ. හැබැයි දැන් අපිට පේනවා මේ ආණ්ඩුව ඇතුළේ දූෂණ සිද්ධ වෙනවා. සමහර කටයුතුවල විනිවිදභාවයක් නෑ. නමුත් අපිට පේන්නේ නෑ මූල්‍ය අරමුදල ආණ්ඩුවේ ඒ ගනුදෙනු ප්‍රශ්න කරනවා. කෝ මූල්‍ය අරමුදල මේ ප්‍රශ්නවලදී අරන් තියෙන විකල්ප ක්‍රියාමාර්ග?’ යනුවෙන් රවී ප්‍රශ්න කරද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද නිරුත්තව සිටි ආකාරයක් දැකගත හැකි විය.
අර්චුනාත් මැද්දට පනී
මේ ආකාරයට රවී දිගින් දිගටම මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට සම්බන්ධ වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී අර්චුනා ද ආණ්ඩුවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
‘පහුගිය කාලේ ආණ්ඩුවට බරපතළ චෝදනා කීපයක්ම එල්ල වුණා. පළවෙනි එක වුණේ කන්ටේනර් 323ක් කිසිම පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීම. කෝ ඔබතුමාලා ඒ ගැන ප්‍රශ්න කළාද? කෝ ඒවායේ වාර්තා? දැන් අලුත්ම එක ගල්අඟුරු වංචාව. කෝ ඒ ගැන ඔබතුමාලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා අපි දැක්කේ නෑ. හැබැයි ඔබතුමාලගෙ ප්‍රතිපත්තිය දූෂණයෙන් රට තොරවිය යුතුයි කියලයි…’ යනුවෙන් අර්චුනා ප්‍රශ්න කරද්දී රවී ආරම්භ කළ සටන සාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව සාකච්ඡාව අවසාන වී විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්වීමෙන් පිටව යද්දී මූල්‍ය අරමුදලේ එක් නියෝජිතයකු රවී අසලට පැමිණ ඔහුගේ අතට අත දී විශේෂ ප්‍රකාශයක් කරනු දක්නට ලැබිණ.
‘මම ඔබතුමා මතුකළ කරුණු ගැන පුදුමයට පත්වුණා. ඔබගේ ප්‍රශ්න කිරීම ප්‍රශස්ත මට්ටමක තිබුණා. ඔබ ඉදිරිපත් කළ කරුණු අපට ඉතා වැදගත්. මොකද මීට කලින් කවුරුවත් අපිව මේ විදියට ප්‍රශ්න කරන්න කටයුතු කරලා නෑ. ඒ ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කැමැතියි ඔබතුමා සමග තවදුරටත් මේ ගැන පෞද්ගලිකව සාකච්ඡා කරන්න…’ යනුවෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයා කියද්දී රවී කියා සිටියේ ඕනෑම අවස්ථාවක තමන් ඊට සූදානම් යැයි කියාය.
මේ ආකාරයට රවී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵල දින කීපයක් ඉක්ම යෑමට මත්තෙන් දැකගන්නට ලැබුණේ ‘දි අයිලන්ඩ්’ පුවත්පත පසුගිය සතියේ පළකර තිබූ පුවතක් හරහාය. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කොට තිබුණේ මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටුකිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවනවා යැයි කියාය. එම කොන්දේසි ඉටුකිරීම මත තවදුරටත් මූල්‍ය අරමුදලේ සහාය හිමිවනවාද නැද්ද යන්න තීරණය වන බවද එම පුවතේ සඳහන්ව තිබිණි. ඒ අනුව එම ප්‍රකාශය හරහා රවී දියත් කළ සටන ජයග්‍රහණය කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය.










