බත් පතේ අයිතිය වෙනුවෙන් මහ පොළොවත් සමඟ ඔට්ටු වන ගොවියාට අද තමන්ගේ දහඩිය සුවඳට වඩා දැනෙන්නේ අකාලයේ විනාශ වී යන අස්වැන්න පිළිබඳ වේදනාවයි. අහස දෙස බලාගෙන, වැහි බිංදුවක් වැටෙන තුරු ඇඟිලි ගනිමින් සිටි ගොවියාට අද අහස දෙස බැලීමට පවා නොහැකි වී ඇත්තේ, ඒ අහසින්ම ඇදහැලෙන අකාල මහා වර්ෂාව තමන්ගේ එකම ජීවනෝපාය මඩ වගුරක් බවට පත් කර ඇති බැවිනි. අම්පාරේ කුඹුරු යායවල් දෙස බලන විට පෙනෙන්නේ අස්වනු නෙළීමට ආසන්නව තිබූ රන්වන් කරල් ජල රකුසාට බිලි වී ඇති අයුරුයි. අක්කරයකට රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිවැයක් දරා, පවුලේ සැමගේ ශ්‍රමයත්, දහඩියත්, බලාපොරොත්තුවත් මුසු කරමින් කළ වගාව අද දෑස් පෙනෙන මානයේම දියවී යද්දී ගොවියා අසරණ වී සිටින්නේ කුමක් කළ යුතුදැයි සිතා ගත නොහැකිවය. සහල් මෝලට හෝ රජයේ වී ගබඩාවට යා යුතු වී අස්වැන්න අද කුඹුරේම පැළ වෙමින් පවතින අතර, එම පැළ වූ වී තොග සතුන්ට දීමට හෝ කිසිවෙකු මිලදී ගන්නේ නැත. මෙය හුදෙක් ගොවියාගේ පුද්ගලික ආර්ථික බිඳවැටීමක් පමණක් නොව, ඉදිරි මාස කිහිපය තුළ මුළු රටම වෙළා ගැනීමට නියමිත මහා සහල් හිඟයක සහ මිල ඉහළ යාමක බරපතළ පෙරනිමිත්තකි.Sri Lanka Latest News
අම්පාරේ උහන සහ දමන වැනි කලාපවල ගොවීන්ගේ අඳෝනාවට තවත් පැත්තකින් අම්බලන්ඔය ජලාශයේ සොරොව්ව බිඳී යාම වැනි පරිපාලනමය දුර්වලතා ද එකතු වී තිබේ. මාසයකට අධික කාලයක් තිස්සේ ජලාශයෙන් ජලය අපතේ යද්දී, එම ජලය කුඹුරු යායවල් මැදින් ගලා යමින් ඉතිරිව තිබූ බලාපොරොත්තුවත් සෝදා පාළුවට ලක් කර ඇත. නවීන තාක්ෂණය ගැන කතා කරන යුගයක, සොරොව්වක් පිළිසකර කර ගැනීමට මාස ගණනාවක් ගත කරන නිලධාරීවාදය හමුවේ ගොවියා අසරණ වී සිටීම ජාතික අපරාධයකි. මෙලෙස වී අස්වැන්න විනාශ වී යාම නිසා වෙළෙඳපොළට ලැබෙන දේශීය සහල් ප්‍රමාණය අවම වන අතර, එහි වාසිය ලබා ගන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහ අතරමැදියන්ය. අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වූ ගොවියාට වන්දි නැත, නිෂ්පාදනය කළ වී ටික විකුණා ගැනීමට මඟක් නැත, එහෙත් පාරිභෝගිකයාට සහල් මිලදී ගැනීමට සිදුවන්නේ අහස උසට නැඟුණු මිලකටය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත්, ගොවියා වගාවෙන් ඉවත් වීම වැළැක්විය නොහැකි අතර, එය රටේ ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම විදේශීය සහල් ආනයනකරුවන්ගේ අතට පත් වීමට හේතු වනු ඇත.
අම්පාරේ මඩ වගුරේ කතාව එසේ වෙද්දී, අනුරාධපුරයෙන් ඇසෙන්නේ රජයේ යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව පිළිබඳ තවත් තිත්ත කතාවකි. මීට පෙර මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් වගා හානි වූ ගොවීන්ට ලබාදීමට පොරොන්දු වූ වන්දි මුදල් අදටත් ඇත්තේ ලිපිගොනු සහ දත්ත පද්ධති අතර හිරවීය. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම්වලදී නිලධාරීන් පවසන්නේ ”සිස්ටම් ඩවුන්” වීම නිසා වන්දි ගෙවීමට නොහැකි වී ඇති බවයි. වගාව විනාශ වී, ණය ගෙවාගැනීමට නොහැකිව, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාළ වී ඇති ගොවියාට ”සිස්ටම් එකේ අවුලක්” යැයි කීම කොතරම් සාධාරණද යන්න පාලකයන් සිතාබැලිය යුතුය. ජනවාරි මාසයේ දෙනවා යැයි කී වන්දි පෙබරවාරි අවසන් වන තුරුත් නොලැබීම නිසා ඇතැම් ගොවීන්ට මීළඟ කන්නය සඳහා බිම් සැකසීමට හෝ බීජ වී මිලදී ගැනීමට මූල්‍ය ශක්තියක් නැත. මේ නිසා රජරට ගොවි ජනතාව පත්ව ඇත්තේ දැඩි කලකිරීමකටය. වන්දි මුදල් දත්ත පද්ධතියකට කොටු කිරීම යනු ගොවියාගේ බඩගින්න දත්ත පද්ධතියකට කොටු කිරීම හා සමානය.
මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ දරුණු සහල් හිඟයක් නිර්මාණය වීමයි. දැනටමත් වෙළෙඳපොළේ සහල් මිල පාලනයකින් තොරව ඉහළ යමින් පවතින අතර, අම්පාර වැනි දිස්ත්‍රික්කවල අස්වැන්න විනාශ වීමත් සමඟ එය තවත් දරුණු වනු ඇත. රජය සහල් ආනයනය කිරීමට පෙලඹුණහොත් එය රටේ ඉතිරිව ඇති විදේශ විනිමය තවත් හිස් කිරීමට හේතු වේ. ගොවියාට වන්දි නොලැබෙන, අස්වැන්න විනාශ වන, පාරිභෝගිකයාට සහල් මිල අධික වන මෙම විෂම චක්‍රය බිඳ දැමීමට නම් වහාම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. නිලධාරීන් තමන්ගේ වගකීම ”සිස්ටම්” මත පටවා මඟහැරීම නතර කළ යුතුය. අම්පාරේ ගොවීන්ට විශේෂ සහන මල්ලක් සහ අනුරාධපුර ගොවීන්ට කඩිනම් වන්දි ගෙවීමක් සිදු නොවුණහොත්, ලබන කන්නය වන විට කුඹුරු බොහොමයක් පුරන් වීමට ඉඩ ඇත.
ගොවියා යනු රටක ජීවයයි. ඔවුන්ගේ දහඩිය මත ගොඩනැඟුණු රටේ ආර්ථිකය, සොබාදහමේ ප්‍රතිවිපාකයන්ට වඩා පාලකයන්ගේ අකාර්යක්ෂමතාව නිසා විනාශ වී යාම කනගාටුදායකය. වර්ෂාවෙන් යට වූ වී කරල් පෙන්වමින් හඬන අම්පාරේ ගොවියාත්, වන්දි ලේඛනයේ නම තිබියදීත් මුදල් නොලැබීම නිසා අසරණ වූ අනුරාධපුරයේ ගොවියාත් අද මුහුණ දෙන්නේ එකම ඉරණමකටය. ඒ ඉරණම අන් කවරක් නොව, හෙට දිනයේ මුළු රටම මුහුණ දීමට නියමිත සාගින්නයි. පාලකයින් වහාම මැදිහත් වී මෙම ගොවි අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබා නොදුන්නොත්, සහල් මිලදී ගැනීමට මුදල් තිබුණත්, මිලදී ගැනීමට සහල් නැති දේශයක් බවට ශ්‍රී ලංකාව පත් වීම වැළැක්විය නොහැක. අතීතයේ මහා පරාක්‍රමබාහු රජු කීවාක් මෙන්, අහසින් වැටෙන එකදු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතු සේම, ගොවියාගේ එකදු දහඩිය බිඳක් හෝ නිලධාරීවාදය හමුවේ අපතේ යාමට ඉඩ නොදීම ජාතික වගකීමකි.










