ඉන්දියන් සාගරයේ සිතියම දෙස බලන අයෙකුට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,600ක් පමණ දකුණින් පිහිටි කුඩා දූපත් සමූහයක් දැකගත හැකිය. නිල්වන් සාගරයෙන් සහ මනරම් වෙරළ තීරයකින් වටවූ චාගෝස් දූපත් සමූහයේ විශාලතම දූපත වන දියාගෝ ගාර්ශියා බැලූ බැල්මට පෙනෙන්නේ සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසය. එහෙත් එම මනරම් බව යට ඇත්තේ ලෝක දේශපාලනයේ සහ යුද බලවතුන්ගේ රුදුරු සහ රහසිගත මෙහෙයුම්වල කළු පැල්ලමයි. දියාගෝ ගාර්ශියා යනු තවදුරටත් හුදෙක් දූපතක් නොවේ; එය ලෝකයේ ඕනෑම තැනකට පහර දිය හැකි, ඕනෑම රාජ්‍යයක් පාලනය කළ හැකි, ඇසට නොපෙනෙන මහා යුද යාන්ත්‍රණයකි. මෙම දූපතේ ඉතිහාසය සහ වර්තමානය දෙස බලන විට පෙනී යන්නේ එය ලෝක බලවතුන්ගේ යුද උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා එහි සැබෑ හිමිකරුවන් වූ ස්වදේශික ජනතාව අමු අමුවේ බිල්ලට දී ඇති ආකාරයයි.Sri Lanka Latest News
දියාගෝ ගාර්ශියා දූපතේ අඳුරු යුගය ආරම්භ වන්නේ 1960 දශකයේදීය. මුලින් ප්‍රංශ පාලනය යටතේ තිබී පසුව බි්‍රතාන්‍යයට නතු වූ මෙම දූපත් සමූහය 1965 වසරේදී මොරිෂස් රාජ්‍යයෙන් වෙන් කරවා ගනිමින් බි්‍රතාන්‍යය විසින් ”බි්‍රතාන්‍ය ඉන්දියන් සාගර බලප්‍රදේශය” ලෙස නම් කරන ලදී. මෙහි ඇති බරපතළම කතාව වන්නේ 1966 වසරේදී බි්‍රතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වූ රහසිගත ගිවිසුමයි. එමගින් වසර 50ක කාලයක් සඳහා මෙම දූපත ඇමෙරිකානු හමුදා කඳවුරක් සඳහා භාවිතා කිරීමට අවසර ලබා දුන්නේය. එහෙත් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන්ට මහා බාධකයක් තිබුණි. ඒ වසර සිය ගණනක් තිස්සේ එම දූපතේ සාමකාමීව ජීවත් වූ අප්‍රිකානු සම්භවයක් සහිත චාගෝස් වැසියන්ය. බලවතුන්ගේ යුද පිපාසය හමුවේ එම අහිංසක වැසියන්ට සිදුවූයේ තමන් පණ මෙන් ආදරය කළ මව්බිම අතහැර යාමටය. ඇමෙරිකාව විසින් එක් පුද්ගලයකුට ඩොලර් 600ක වැනි සොච්චම් මුදලක් ලබාදී, ඔවුන්ගේ සුරතල් සතුන් පවා මරාදමමින්, එම මිනිසුන් බලහත්කාරයෙන් පිටුවහල් කරන ලදී. අදටත් එම ස්වදේශිකයින් තමන්ගේ අයිතිය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණ හමුවේ සටන් කරමින් සිටින්නේ මව්බිම අහිමි වීමේ වේදනාව ලෝකයට කෑගසා කියමිනි.
ඇමෙරිකාව දියාගෝ ගාර්ශියා දූපත තෝරා ගත්තේ එහි පිහිටීම නිසාමය. එය ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටමින් මැදපෙරදිග, අප්‍රිකාව සහ ආසියාව යන කලාප තුනටම ඉතා කෙටි කාලයකින් ළඟා විය හැකි මර්මස්ථානයකි. අද වන විට එහි සුවිසල් ගුවන් පථ දෙකක්, නෞකා අංගන, ඉන්ධන ගබඩා සහ නවීනතම සන්නිවේදන කුලුනු ඉදිකර ඇත. ලෝක ඉතිහාසය උඩුයටිකුරු කළ ගල්ෆ් යුද්ධය, ඇෆ්ගන් ආක්‍රමණය සහ ඉරාක යුද්ධය යන සියල්ලේදී ඇමෙරිකානු B-52, B-1 සහ B-2 වර්ගයේ දැවැන්ත ප්‍රහාරක ගුවන් යානා අහසට නැඟුණේ මෙම දූපතේ සිටය. කිසිදු බාධාවකින් තොරව ඉලක්ක වෙත ළඟා වීමට දියාගෝ ගාර්ශියා දූපත ලබා දෙන්නේ අසමසම සහයෝගයකි. මේ හේතුව නිසාම එය ”ඇමෙරිකාවේ නොසැලෙන ගුවන් යානා වාහක නෞකාව” ලෙසද හඳුන්වනු ලබයි.
දියාගෝ ගාර්ශියා දූපත ජාත්‍යන්තර පුවත් මවන්නේ යුද කටයුතු නිසා පමණක් නොවේ. එය වටා ගෙතී ඇති රහසිගත තොරතුරු රැසකි. 9/11 ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය (CIA) විසින් අල්ලා ගන්නා ලද සැකකරුවන් රහසිගතව රඳවා තබාගෙන වධහිංසා පමුණුවන ”කළු ස්ථානයක්” (Black Site) ලෙස මෙම දූපත භාවිත කළ බවට බරපතළ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර මානුෂීය නීතිවලින් ඔබ්බට ගිය පාලනයක් මෙහි පවතින බැවින්, මෙම දූපත තුළ සිදුවන දේ දන්නේ ඇමෙරිකානු හමුදාව පමණි. එමෙන්ම 2014 වසරේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයක් වන MH 370 යානය මෙම දූපතට ගොඩබස්වා ඇති බවට හෝ ඒ අසලදී අනතුරට ලක්ව ඇති බවට ආන්දෝලනාත්මක මත පළ විය. යානයේ සුන්බුන් කිසිවක් හමු නොවීම සහ යානයේ ගමන් පථය දියාගෝ ගාර්ශියා දෙසට යොමුව තිබීම මෙම සැකය තීව්‍ර කළේය.
ශ්‍රී ලංකාවට මෙම දූපතේ බලපෑම ඉතාමත් තීරණාත්මක සහ සංකීර්ණ එකකි. භූගෝලීය වශයෙන් ලංකාවට අතිශයින්ම සමීපව පිහිටා ඇති බැවින්, ඉන්දියන් සාගරයේ සිදුවන ඕනෑම යුදමය කලබැගෑනියකදී ලංකාවට එහි සෙවණැලි වැටීම වැළැක්විය නොහැක. විශේෂයෙන්ම මෑත කාලීනව චීනය ඉන්දියන් සාගරයේ සිය බලය පතුරුවද්දී, ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඇමෙරිකාව දියාගෝ ගාර්ෂියා දූපත තවදුරටත් සන්නද්ධ කරමින් සිටී. මෙම බල අරගලය මැද ලංකාව වැනි කුඩා රටක් දැඩි අර්බුදයකට මුහුණ දෙයි. 2021 වසරේදී ලාංකික දෙමළ සම්භවයක් සහිත සරණාගතයින් පිරිසක් බෝට්ටුවකින් මෙම දූපතට ළඟාවීමත් සමඟ එහි ඇති යුදමය රහස්‍යභාවය සහ මානුෂීය අයිතිවාසිකම් අතර ගැටුම යළිත් ලොව හමුවේ නිරාවරණය විය. යුද කඳවුරක නීති රීති හමුවේ එම සරණාගතයින්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය නිසා ජාත්‍යන්තර සංවිධානවල දැඩි අවධානය දියාගෝ ගාර්ශියා දූපත වෙත යොමු විය.
ලංකාවට එරෙහිව සිදුවන ජාත්‍යන්තර බලපෑම්වලදී දියාගෝ ගාර්ශියා දූපතේ සිට ක්‍රියාත්මක වන සන්නිවේදන සහ ඔත්තු බැලීමේ ජාලයන් සක්‍රීය දායකත්වයක් සපයන බව ආරක්ෂක විචාරකයින් පවසයි. ඉන්දියන් සාගරයේ නාවික ගමන් මාර්ග පාලනය කිරීමේ හැකියාව මෙම දූපතට ඇති බැවින්, ලංකාවේ ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලට පවා මෙහි බලපෑම වක්‍රව දැනේ. ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යය සිය ගිවිසුම 2036 දක්වා දීර්ඝ කර ඇති බැවින්, ඉදිරි දශක කිහිපය තුළද මෙම දූපත කලාපීය බල අරගලයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වනු ඇත.
අවසාන වශයෙන් ගත් කල, දියාගෝ ගාර්ෂියා යනු හුදෙක් ගොඩබිම් කැබැල්ලක් නොවේ. එය මිනිස් අයිතිවාසිකම් පෑගූ, යුද පිපාසිත බලවතුන්ගේ රහස් රකින, ලෝක සාමයට නිරන්තර තර්ජනයක් එල්ල කරන අදෘශ්‍යමාන බළකොටුවකි. එහි සුන්දර වෙරළ තීරයට යටින් වැළලී ඇති ස්වදේශික වැසියන්ගේ කඳුළු සහ මියගිය සෙබළුන්ගේ රහස් ලෝකයට හෙළි වන දිනයක් යම් දිනක උදාවනු ඇත. එතෙක් ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ‘යුද යෝධයා’ සිය ගෙවත්තේ වැට මායිමේ සිටින බව හොඳින් මතක තබාගත යුතුය. මන්ද, දියාගෝ ගාර්ශියා වෙතින් නැගෙන එකදු ප්‍රහාරක යානයක ශබ්දය වුවද ඉන්දියන් සාගරයේ සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සලිත කිරීමට සමත් වන බැවිනි.










