කියුබාවට ඉන්ධන අලෙවි කරන ඕනෑම රටකට තීරුබදු පැනවීම සඳහා වන විධායක නියෝගයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවේය.Sri Lanka Latest News
එම විධායක නියෝගයට අනුව කියුබාව, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අසාමාන්‍ය මෙන්ම දැඩි තර්ජනයක් එල්ල කරන රටකි. කියුබාව ඇමෙරිකා විරෝධී රටවල්වලට සහ ත්‍රස්තවාදී සංවිධානවලට සහාය ලබාදෙන බව එම විධායක නියෝගයේ සඳහන් වේ. එලෙස කියුබාව සහාය දෙන රටවල් සහ ත්‍රස්තවාදී සංවිධාන අතර රුසියාව, චීනය, ඉරානය සහ හිස්බුල්ලා, හමාස් ත්‍රස්තවාදී සංවිධාන තිබෙන බව එහි දැක්වේ.
කියුබාවට සෘජුව හෝ වක්‍රව ඉන්ධන සපයන සියලුම රටවල භාණ්ඩවලට ඇමෙරිකාවේදී අමතර තීරු බද්දක් පැනවෙනු ඇතැයි ජනපති ට්‍රම්ප් විධායක නියෝගයට අත්සන් තබමින් ප්‍රකාශ කළේය.
ඉතාමත් ඉක්මනින් කියුබාව කඩා වැටෙනු ඇතැයි මීට පෙර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ අතර කීපවතාවක්ම ප්‍රමාදවීමට ප්‍රථමයෙන් කියුබාව, ඇමෙරිකාව සමග ගිවිසුමක එළැඹිය යුතු යැයි අනතුරු අඟවා තිබිණි.
කියුබාව වෙනිසියුලානු ඉන්ධන මත යැපී තිබූ අතර වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගැනීමත් සමග වෙනිසියුලා ඉන්ධනවල පාලනය බොහෝ දුරට ඇමෙරිකාව නතුවී තිබීම නිසා මෙම විධායක නියෝගයෙන් කියුබා බලශක්ති අර්බුදය තවත් උග්‍ර වනු ඇති බව පැවැසෙයි. වෙනිසියුලා ඉන්ධන කියුබාවට පැමිණීම නතර කළා සේ අනෙක් රටවල්ද කියුබාවට ඉන්ධන ලබාදීම අවහිර කරන බවටද ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබිණි.
විධායක නියෝගය සම්බන්ධයෙන් අදහස් විමසමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ තමන් කියුබාවේ ගෙල සිර කිරීමට උත්සාහ නොකරන බවත් නමුත් නියෝගයත් සමග කියුබාව සිය දිවිගැට ගහ ගැනීමට නොහැකි වනු ඇති බවත්ය.
කියබානු රජය දැඩිව මෙම විධායක නියෝගය හෙළාදැක ඇති අතර ඇමෙරිකාව කියුබාව බිය වද්දා සිය ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කර ඇත.
ඇමෙරිකාව කියුබාව පනවා තිබෙන සම්බාධක හේතුවෙන් වැඩි වශයෙන් කියුබාව රුසියාව, මෙක්සිකෝව සහ වෙනිසියුලාව යන රටවල් මත ඉන්ධන ලබා ගැනීම සඳහා යැපීමට පුරුදු වී ඇති අතර ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමග මෙක්සිකෝව බොහෝ දුරට මෙම සතියේදී කියුබාවට සපයන ඉන්ධන සීමා කිරීමේ තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරිණි.
ට්‍රම්ප්ගේ මෙම පියවර හමුවේ කියුබාව දැනටමත් මුහුණ පා සිටින උග්‍ර බලශක්ති අර්බුදයක් තවත් තීව්‍ර වනු ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කියුබාව මෑත වසරවලදී දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර එය එහි විදුලිබල ජාලයට බලපාන අතර රට පුරා සිදුවන විදුලිය විසන්ධි වීමට ද හේතුවී ඇත.










