මේක අපි අවුරුදු ගානක් තිස්සේ අහන ප්‍රශ්නයක්. උත්තරයක් නැති ප්‍රශ්නයක්. බටලන්දට මොකද වුණේ කියන එකට හරි උත්තරය මේ ආණ්ඩුව ළඟ ඇති කියලා අපි හිතුවා. මේ ආණ්ඩුව බටලන්දට මොකද වුණේ කියන එක හොයන්න කලින් ආණ්ඩුවලට වඩා විධිමත්, කාර්යක්ෂම ක්‍රමවේදයකට පොටක් පාදාගත්තා වගේ එකක් අපිට පෙනුණා.
පාර්ලිමේන්තුවට ගෙනාපු බටලන්ද කොමිසමේ වාර්තාව සභාගත වුණා. නිල වශයෙන් මේ වාර්තාව පිළිගන්නා බවට සහතිකයක් ලැබුණා. ඉන් පස්සේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ කතානායකතුමා පවා කඳුළු සලන ආකාරය. මේ සිදුවීමේ බරපතළකම ඔවුන් දැනගෙන හිටියා. ඇත්තටම මේ බටලන්ද කොමිසම ඉදිරිපත් කරපු වාර්තාව හරිම වැදගත් වාර්තාවක්. එතනදී කාට කාටත් චෝදනා එල්ලවෙලා තියෙන වග අපි දන්නවා. ඒත් පුදුමේ කියලා කියන්නේ, බටලන්ද කොමිසමේ වාර්තාව පිට වුණා කියලා, මේකෙන් කවුරුත් තවම වැරදිකාරයෝ වුණේ නැහැ. Sri Lanka Latest News
පාර්ලිමේන්තුව ඇතුළේ කඳුළු සලමින් වැළපුණු දේශපාලකයෝ, තර්ක විතර්ක, මේකෙන් වැරදිකාරයෝ අත්අඩංගුවට ගන්න හැටි, ඔවුන්ට දඬුවම් කරන හැටි, ඉතාම විචිත්‍රවත් භාෂාවෙන්, වේගවත් ස්වරයෙන්, තරහින්, දුකෙන්, කනගාටුවෙන්, අප්‍රසන්න හැඟීමෙන් කතාකරපු දේශපාලකයෝ, දැන් තම තමන්ගේ පාඩුවේ තමන්ගේ ලෝකයේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. අර බටලන්දෙදී මියගිය අයට සාධාරණ ඉෂ්ට වුණාද?
බටලන්දෙදී වුණා කියපු දේවල් ඔබතුමාලා කිව්වේ බොරුද? බටලන්ද කොමිෂන් වාර්තාවේ ඇත්තටම මොනවද තියෙන්නේ? බටලන්දේ වැරදිකාරයා කවුද? ඇඟිල්ල දික් කරපු විදිහට රනිල් වික්‍රමසිංහ මේකට වැරදිද? නැත්නම් රනිල් වික්‍රමසිංහ මේකට වැරදි නැද්ද? එහෙම නැත්නම් රනිල් වික්රමසිංහත් එක්ක අර නම්ගම් එක්ක කියපු කයි කතන්දර ඔක්කොම බොරුද? ඔබ හැදුවේ රනිල් වික්‍රමසිංහට අපහාස කරන්නද? නැත්නම් වෙන බොරුවක් මවාපාන්නද?
බටලන්දෙදි ඇත්තටම මෙහෙම දේවල් වෙලා නැද්ද? එහෙම නැත්නම් කාගේ කාගෙත් කිල්ලෝටවල චුට්ට චුට්ට හරි හුණු තියෙනවද? එහෙම හුණු තියෙන නිසා කතාව ඇදලා ගන්න කවුරු හරි කෙනෙක් බයද? එහෙම නැත්නම් බටලන්දේ මේ සිදුවීම් වැලට ඉහළින් හිටපු මිනිස්සු තවමත් පරණ පුරුදු විදිහටම ලයිසන් චණ්ඩිද? තවමත් ඒගොල්ලෝ ගාව පරණ පුරුදු විදිහටම බලය තියෙනවද? ඒ බලයට කවුද බය? බය නැති කෙනෙක් හොයාගන්න බැරිද?
එහෙම නැත්නම් බලය ගන්නකන් කියපු කයි කතන්දර, බලය ලැබුණට පස්සේ බයිලා බවට පත්වෙන සුපුරුදු දේශපාලන සෙල්ලම ආයෙත් මේ රටේ සිද්ධ වෙමින් යනවද? අපිට සිද්ධ වෙලා තියෙන්නේ බලාගෙන ඉන්න. නෝනාවරුනි මහත්වරුනි, වසර ගණනක් තිස්සේ මේ රටේ මිනිස්සු බලාගෙන හිටියා. තට්ටු මාරු දේශපාලනය ඇතුළේ එහෙට මෙහෙට මාරුවෙච්ච කුට්ටි නිසා, තමන්ගේ හිතවතාව, යාළුවාව, පවුලේ කෙනාව කොටුකරගන්න බැරුව, මේ රටේ දේශපාලන බලය සහිත, දේශපාලන හයිය සහිත, දේශපාලන කඳවුරුවල නායකකාරකාදීන් කටයුතු කළ බව අපි දන්නවා.
පරම්පරා නෑදෑකම්, පාර්ලිමේන්තුව ඇතුළේ අවුරුදු ගානක් තිස්සේ ගොඩනැගිච්ච යාළු මිත්‍රකම් අපි විවිධ තැන්වල දැක්කා. දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙන්නේ බොරුවට කියලා පස්සේ අපි දැනගත්තා. ඒ කණ්ඩායමට අයිති නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියන එක මිනිස්සු තීරණය කළා. ඒ තීරණය මල්ඵල ගන්වමින් අලුත් ආණ්ඩුව බලයට ආවා. අලුත් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හම්බවුණා. අලුත් ජනාධිපතිවරයෙක් ලංකාවට හම්බවුණා. බලාපොරොත්තු නොවෙච්ච ජයග්‍රහණයක් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මේ ආණ්ඩුවට ලැබුණා.
මේ ඔක්කොම ටික හරි. හැබැයි, එයින් ලැබෙන නිසි ප්‍රයෝජනය මහජනතාවට ලැබෙනවද කියන එක දිහා අපිට බලන් ඉන්න වෙනවා. සතුටින් බලන් ඉන්නවද, දුකෙන් බලන් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ මේ ක්‍රමය ඇතුළේ මේ රටේ සිද්ධ වෙන සමහර දේවල් නිසා. ඇත්තම කතාව කියනවා නම්, බොහෝ වෙලාවට අපිට හිතෙන දේ තමයි, කියන තරමට වැඩ නැහැ කියන එක. ඒකට අර කයිවාරුව විතරයි කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ අපි. ඒත් සමහර වෙලාවට එහෙම හිතෙනවා. කියන තරමට වැඩ නැහැ වගේ එකක්.
ගොරවන තරමට වහින්නේ නැහැ කියන එක නම් ඉතින් ඇත්ත. ඒ වුණාට, ගොරවලා ගොරවලා ගොරවලා ගොරවලා, අන්තිමට වැහි පොදක්වත් නැතුව ගියාම, අපිට කියන්න තියෙන්නේ, ඔක්කොම එකයි කියලා තමයි. එහෙම කියන්න තවම කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද තවම ආණ්ඩුව පත්වෙලා ගිහිල්ලා තියෙන්නේ අවුරුද්දයි. අවුරුද්දක් ඇතුළේ අවුරුදු 50ක් ඇතුළේ නොවෙච්ච දේවල් බලාපොරොත්තු වෙන්න තරම් අපි හඳ මාමාගෙන් කිරි ඉල්ලන මිනිස්සු නෙමෙයි. ඒත්, හඳමාමා අපිට තරු පෙන්නයිද කියලා තමයි අපිට බය තියෙන්නේ. මොකද, මීට කලිනුත් එක එක ජාතියේ හඳවල් අහසේ පෑව්වා. හැබැයි, හැමදාම හඳ දිහා බලන් හිටපු අපිට පෙනුණේ තරු.
ඒ නිසා, ආයෙත් හඳ වෙනුවට තරු පෙන්නලා, අපිව රවට්ටන්නේ නැති ක්‍රමයක් එයි කියලයි අපි හිතන්නේ. ඒ නිසා, බටලන්ද කොමිසම ගැන අර හැඬූ කඳුළින් කී කතා, මහපොළොවේ සත්‍ය වෙනවාද කියලා අපි බලන් ඉන්නවා.

ජීවන පහන් තිළිණ










