පසුගියදා පැවැති යූ.ඇන්.පී. සංවත්සරයේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටින දේශපාලනඥයන් ගණන් කරන විට මතකයට නැගෙන්නේ 2024 අප්‍රේල් 06 ‘ගුරුදා විග්‍රහයේ’ පළවූ ලිපියය.Sri Lanka Latest News
‘ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය’. එම ලිපියේ හෙඩිම නොහොත් සිරස්තලය පළවූයේ එහෙමය. පහත දැක්වෙන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.
‘දහනායක පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා ඉවත් වන බව දැන්වීය. ශ්‍රීලනිපය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කළේය. ඒ තරහට ඔහු බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ඉවත් කොට පස්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඔහුගේ නව පක්ෂයේ නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග වැදුණේ එම පක්ෂයෙනි. රටම මවිතයට පත්කරමින් ඔහුත්, ඔහුගේ පක්ෂයත් මැතිරණයේදී අන්ත පරාජයකට පත්විය. ඔහුගේ පක්ෂයෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැත.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිත් සමග ඇමැති මණ්ඩලයම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය එය විය. ඔහු ඇමැති ධුරවලින් පන්නා දැමූ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ශ්‍රීලනිපයෙන් තරග කොට තේරී පත්විය.
දහනායකට වගේම ඇමැති මණ්ඩලයක් දහනායක වගේ අගමැති වී පසුව ජනාධිපති වූ රනිල්ට සිටී. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා ඇමැතිවරුන්ට පක්ෂයක් නැත. ඊළඟ මහ ඡන්දයේදී තමන් තරග කරන්නේ මොන පක්ෂයෙන්ද කියා මේ ඇමැතිවරු දන්නේත් නැත. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා සමහරක් වගේම රටේ ජනාධිපතිද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. ඔවුන් ඊළඟට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තුවක් සොයා ගන්නේ කෙසේද කියා ඔවුන්වත් දන්නේ නැත.
දිනේෂ් ගුණවර්ධනට පක්ෂයක් තිබේ. ඒ, මහජන එක්සත් පෙරමුණය. මහජන එක්සත් පෙරමුණ අවසන් වරට ඡන්දයකට තනිවම තරග කළේ 1994 මහ මැතිවරණයය. 1994 මහ මැතිවරණයට දිනේෂ්, බන්දුල රෝදය ලකුණ යටතේ තරග කළහ. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ අන්ත පරාජයකට පත්විය. දිනේෂ් සහ බන්දුලටත් ඇප නැති විය. චන්ද්‍රිකා කොටි දෙනක් කියා සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සා ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්වූ මහජන එක්සත් පෙරමුණ 2000 මහ ඡන්දයේදී යළි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සන්ධානගත වී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. අද වනවිට මහජන එක්සත් පෙරමුණ කියා පක්ෂයක් තියෙන්නේ නමටය. දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවොත් වෙන්නේ 1994 මහ ඡන්දයේදී වෙච්ච දේමය.
අනෙක් හැමෝම ඉන්නේ එල්ලෙන්න වැලක් නැතිවය. සමහරු පොහොට්ටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යැයි කියති. තවත් සමහරුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. මේ ඇමැති මණ්ඩලය ගෝඨාභය පත්කර ගත්තේ අරගලයට බයේය. ගෝඨාගේ කලින් ඇමැති මණ්ඩලයේ හිටියේ පොහොට්ටු පතාකයන්ය. අරගලයෙන් ඔවුන්ට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ වෙනකොට ගෝඨාගෙන් ඇමැති ධුරයක් ඉල්ලා එය නොලැබ කෝපයට පත් සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ ගිහින් බඩු මිල වැඩි යැයි කියා ගෝඨාව විවේචනය කළේය. විජයදාස රාජපක්ෂද ගෝඨාගෙන් ඇමැතිකමක් නොලැබී ගෝඨාගේ ආණ්ඩුවට රිදෙන්න ගැහුවේය. කංචන විජේසේකරලා හිටියේ නාමල්ලා එක්කය. ප්‍රසන්න හිටියේ බැසිල්ලා එක්කය. ගෝඨා අරගලයට බයේ පොහොට්ටු පතාකයන්ගේ කැබිනට් මණ්ඩලය අහෝසි කොට ඔහුට බැණ බැණ ගිය අයව එක්කොට ඇමැති මණ්ඩලය හැදුවේ අරගලයෙන් බේරී ජනාධිපතිකම බේරාගන්නටය. ඒ අතර නාමල්ගේ කීමට කංචනවත්, බැසිල්ගේ කීමට ප්‍රසන්නවත් ඇමැති මණ්ඩලයට ගත්තේය. ගෝඨා ඉවත් වූ විට මේ ඇමැති මණ්ඩලය හොල්මන් විය. නායකයෙක් නැති පක්ෂයක් නැති මේ අනාථ වූ අසරණ වූ ඇමැති මණ්ඩලය තියාගන්න රනිල් කැමැති වූයේ රනිල්ටත් තමාගේ පක්ෂයෙන් සිටියේ එක මන්ත්‍රීවරයෙක් වූ නිසාය. මේ ඇමැති මණ්ඩලයම පසුගිය වසර දෙකේම කළේ සිග්නල් කණු මෙන් අත් උස්සන එක විතරය. මේ ඇමැති මණ්ඩලය මුලින් හිතුවේ රනිල් මාර ගේමක් ගහලා තමන්වත් ගොඩ දමයි කියලාය. ඔවුන් හිතාගෙන හිටියේ රනිල් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලලා එජාපයට යළි පණ දුන් පසු එජාප සන්ධානයට එකතු වෙන්නටය. ඒත් දැන් දැන් රනිල් එක්ක ගිහින් තමන්ටත් යනඑන මං නැති වන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා රනිල් දිනවන්න ගිහින් රනිල් පරාජය වුවහොත් මේ හැමෝටම පාර්ලිමේන්තු යෑම හීනයකි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් පාර්ලිමේන්තු යන්න පක්ෂයක් සොයාගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරු වනු ඇත.
‘ඒ කියන්නේ දහනායකගේ ඇමැති මණ්ඩලයට වෙච්ච දේ මේ ඇමැති මණ්ඩලයටත් වෙයිද…?’
‘ගුරුදා විග්‍රහය’ 2024 අප්‍රේල් 06 කී අනාවැකිය ටක්කෙටම හරි ගියේය. ඇපත් නැතිව පැරැදුණු ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය දහනායකගේ ඇමැති මණ්ඩලයය. ඒ 1960 මාර්තු මහ මැතිවරණයෙන්ය. ඇපත් නැතිව පැරැදුණු ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය 2022-2024 රනිල්ගේ ඇමැති මණ්ඩලයය. ඒ ඇමැති මණ්ඩලයේ බහුතරයක් ඇපත් නැතිව පරාජය විය. තව පිරිසක් පරදින බයට ඡන්දය ඉල්ලුවේ නැත. රට බංකොලොත් වූ වෙලාවේ අභියෝග භාරගත්තා යැයි කියමින් මරහඬ දුන්න මේ ඇමැතිවරු පසුගිය කාලයේ හොයාගන්නවත් නොහැකි විය. හිටි හැටියේ පසුගියදා යූ.ඇන්.පී. සංවත්සරයට ඇවිත් දැන් බලන්නේ යූ.ඇන්.පී.ය හරහා සමගි ජන බලවේග මැතිවරණ ලැයිස්තුවට ඇතුළු වී සමගි ජන බලවේගයේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට රිංගා ගන්නටය.
‘ඔබතුමා ඉල්ලන්න එපා. මේක අපි සජිත්ට දිනන්න ඉඩ දෙමු. ඉඩ දීලා පාර්ලිමේන්තුවට ගිහින් ජාතික ආණ්ඩුවක් හදාගන්න බලමු…’
මේ ඇමැතිවරු එදා සජිත්ව පරදා අනුරව දිනවන්න තම දේශපාලන ජීවිතයත් පරදුවට තබා මරාගෙන මැරෙන සටනක් තුළ රනිල්ට කිව්වේ නැත. ඔවුන් හිතුවේ සජිත්ගේ සමගි ජන බලවේගය රනිල් ගෙඩිය පිටින් ගිල්ලාම රනිල් දිනලා තමන්ව අමරණීය ඇමැතිවරු බවට පත්කරයි කියලාය.
‘සජිත් රට වැටුණු වෙලාවේ අභියෝග භාර නොගෙන පැනලා ගියා. අපියි අභියෝගය භාරගත්තේ…’
මේ ඇමැතිවරුන් එදා පාරම්බෑවේ එහෙමය. අද ඡන්දෙට මුහුණ දෙන අභියෝගයට බයේ සමගි ජන බලවේගයේ නැට්ටේ එල්ලෙන්න දත කමින් සිටී.
‘මේ සෙට් එකත් එක්ක සන්ධානගත වෙලා සජබයට ඡන්ද දිනන්න පුළුවන්ද…?’
මේ රටේ මිනිස්සු සජබයට ප්‍රධාන විපක්ෂය ලෙස ඡන්දය දුන්නේ ජවිපෙ මෙන්ම සජබයේත් දූෂිතයන් නැති නිසාය. ජවිපෙ මෙන්ම සජබයත් කවදාවත් ලංකාවේ ආණ්ඩුවක් කරලා නැති නිසාය. ජවිපෙ අනුරලා, විජිතලා, ලාල්කාන්තලා, බිමල්ලා ආණ්ඩුවල ඇමැතිකම් කළා වගේ සජිත්ලා සහ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවල ඇමැතිකම් කළාට ආණ්ඩු කරලා නැත. ඔවුන් රනිල්ගේ නායකත්වය යටතේ කලින් මන්ත්‍රීකම් ඇමැතිකම් කළත් ඔවුන් රනිල්ගේ 2022-24 දූෂිත ආණ්ඩුවට හවුල් නොවූ බව මිනිස්සු දනී. ඔවුන් සජිත්ට සහ සජබයට ප්‍රධාන විපක්ෂය භාරදුන්නේ ඒ නිසාය.
දැන් සජබය කරන්න ඕනෙ මිනිස්සු දුන්න ඒ ජනවරම පාවිච්චි කොට සජබය අලුත් පක්ෂයක් ලෙස අලුත් බලවේගයක් ලෙස බ්‍රෑන්ඩ් කොට අලුත් ටීම් එකක් සමග ඉදිරියට යෑමය.
ජවිපෙ කළෙත් ඒකමය. අනුර 3%ක් ඡන්ද අරගෙන පරාජය වූ ජනාධිපතිවරයෙකි. ඔහු ජවිපෙ නායකත්වයට පත්වූයේ 2014දීය. 2014 සිට පළාත් පාලන මහ මැතිවරණය සහ ජනාධිපතිවරණවලදී ජවිපෙ අන්ත පරාජයකට ලක්විය.
අනුර පළමු වරට පාර්ලිමේන්තු ආවේ ජාතික ලැයිස්තුවෙනි. 2010 අනුර පාර්ලිමේන්තු ආවේත් ජාතික ලැයිස්තුවෙනි. ඔහු ජනප්‍රිය නායකයෙක් නොවේ. ඒත් ඔහු පක්ෂය අලුතෙන් බ්‍රෑන්ඩ් කරලා අලුත් ටීම් එකක් හඳුන්වා දීලා ඡන්දෙට ගියේය. ඔහු දින්නේය. ඔහු වෙනස පෙන්වූයේ හරිනි ඇතුළු අලුත් ටීම් එක ඉස්සරහට දමලාය.
සජබය අද කරන්න ඕනෙත් ඒකය. සජබයට අද පාවෙන ඡන්දදායකයන්ට තරුණ තරුණියන්ට කතා කරන්න පුළුවන් හොඳ ටීම් එකක් සිටී.
පළමු වැන්නා හර්ෂ ද සිල්වාය. ඔහු අලුත් ජෙනරේෂන් එකේ ජනප්‍රිය චරිතයකි. ඒ වගේම පාවෙන ඡන්දදායකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි නායකයෙකි. සජබය ඔහුව හරියටම මාර්කට් කරනවා නම් ඔහුගෙන් අලුත් ඡන්දයක් ආකර්ෂණය කරගත හැකිය.
දෙවැන්නා පසුගිය ඡන්දෙන් මතුවූ ප්‍රසාද් සිර්වර්ධනය. ඔහු ජවිපෙ ජනප්‍රිය මන්ත්‍රීවරු වගේම දක්ෂ කථිකයෙකි. අලුත් පරම්පරාවට කතා කරන්න පුළුවන් ජනප්‍රිය චරිතයකි. ඔහු හරහාත් සජබයට අතිවිශාල තරුණ ඡන්දයක් ආකර්ෂණය කරගත හැකිය.
ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු දක්ෂ ලෙස කරුණු ඉදිරිපත් කරන මෙවර අලුතෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහුත් අලුත් තරුණ මුහුණකි. අලුත් තරුණ ඡන්ද දිනාගන්න ඔහුත් පාවිච්චි කළ හැකි චරිතයකි.
අනුරාධපුරය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ සුරංග රත්නායක ද පාර්ලිමේන්තුවේ කැපීපෙනන ලෙස හඬ නගන තරුණ මන්ත්‍රීවරයෙකි. ඔහුටත් තරුණ පාවෙන ඡන්ද ආකර්ෂණය කරගත හැකිය.
පස්වැන්නා ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත රාජපක්ෂය. ඔහු හොඳට ජවිපෙ ඉතිහාසය දන්නා ජවිපෙ තර්ක කඩන්න පුළුවන් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයකි. කැලෑ ගහක් නසන්න කැලේ ගහක්ම පාවිච්චි කළ යුතුවා සේම ඔහුගෙන් ලබාගත හැකි සේවය අතිවිශාලය. ඔහුට තරුණ තරුණියන්ට කතා කරන්න පුළුවන් භාෂාවක්ද, ඔහුටම ආවේණික විලාසයක්ද තිබේ. ඔහු ජවිපෙ ඡන්ද කඩන්න පුළුවන් හොඳ මැෂිමකි.
හයවැන්නා චරිත් අබේසිංහය. ඔහු නළුවෙකි. ජවිපෙ ජගත් මනුවර්ණ මෙන් දේශපාලනය හොඳට දන්නා නළුවෙකි. ඔහුට හොඳ තරුණ ආකර්ෂණයක් තිබේ. ඔහුත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයකි. තරුණ තරුණියන්ගේ ඡන්ද ආකර්ෂණය කරගන්න සජබයට ඔහුව ප්‍රයෝජනයට ගන්න පුළුවන.
ඒ වගේම සජබයේ දොස්තර චමල් සංජීවත් වෘත්තිකයන් අතර ජනප්‍රිය චරිතයකි. ඔහු බෙහෙත් මාෆියාවට එරෙහිව හඬ නගා රට තුළ නමක් හදාගත් චරිතයකි. ඔහුගෙනුත් සජබයට ලොකු ගැම්මක් ගත හැකිය.
මොවුන්ට අමතරව සජබයේ තව අතිදක්ෂයන් සිටී. ඔවුන් පරණ පුරුදු මුහුණුමය. ජවිපෙ දින්නේ විජිත හේරත්ලා, බිමල්ලා, ලාල්කාන්තලා, සුනිල් හඳුන්නෙත්තිලා ඉස්සරහට දමාගෙන නොව අලුත් මුහුණු ඉස්සරහට දමාගෙනය. හැබැයි ප්‍රධාන පෙළේ ඇමැතිකම් හිමිවූයේ පරණ මුහුණුවලටය.
සජබයේත් පරණ මුහුණු ඡන්දේ දිනන්න නම් ඒ කැපවීම කළ යුතුය. අලුත් ටීම් එකක් ඉස්සරහට දමාගත යුතුය.
රනිල්ගේ ඇමැති මණ්ඩලය දූෂිතය. ඔවුන් අද ඔවුන්ට දූෂණ චෝදනා එන විට පොරවා ගන්න සුදු රෙද්දට හොයන්නේ සමගි ජන බලවේගයය. සජබය ඔවුන්ගේ පවු කරගැසිය යුතුද?
එහෙම නැතිව රනිල්ගේ පරාජිත, දූෂිත ඇමැති මණ්ඩලය ඉස්සරහට දමාගෙන ගියොත් ඊළඟ ඡන්දයේදී සජබයට විපක්ෂයත් හිමි නොවනු ඇත.










