සරල කරන ලද එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (SVAT) වෙනුවට මෙතෙක් පැවැති එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (VAT) ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර පැවැසුවාය.Sri Lanka Latest News
අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නව තීරණය ක්‍රියාත්මක කෙරෙන බව ද කොමසාරිස්වරිය කීවාය.
ඇය මේ බව පැවැසුවේ බදු වෙනස සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (02 වැනිදා) පැවැති දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සාම්ප්‍රදායක ක්‍රමය මගින් අන්තර් ජාතික වෙළෙඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන කප්පාදු නොවන බව ද මෙතෙක් වවුචරයක් මගින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බව ද ඇය සඳහන් කළාය.
ඊට අමතරව කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉහළ අවදානම්, පහළ අවදානම් සහ මධ්‍යම අවදානම් වශයෙන් බදු ගෙවන ව්‍යාපාරික ආයතන කාණ්ඩ කිරීම සිදුකරන බව ද කොමසාරිස්වරිය පැවැසුවාය.
වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුළු අදාළ නිර්ණායක සපුරාලිය යුතු බව ද කොමසාරිස්වරිය සිහිපත් කළාය.
මෙම අවස්ථාවට දේශීය ආදායම් කොමසාරිස්වරුන් වන ඩී.ජී. දිසානායක, සනත් හෙට්ටිආරච්චි, මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස් මංජුලා ලියනාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.










