මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News
කොළඹ අද (25) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන සඳුදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවය.
“‘Hotel Show Colombo 2025” ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා,
”පහුගිය කාලයේ රටවල් හතක් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබලා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයිති වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් හතලිහකට වීසා ගාස්තු නොමැතිව, වීසා ලබාදෙන පහසුකම් ඇති කරන්න. ඉතින් ඒ අනුව, ඒ ගැසට් නිවේදනය නිකුත් වෙන ගමන්, ලෝකයේ රටවල් හතලිස් හතකට අපි වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තීන්දුව ගන්න කොට, ඩොලර් මිලියන හැට හයක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත්, අපි බලාපොරොත්තු වෙනවා, සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, වක්‍රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න. ඉතින් ඒ අනුව ඒ ආදායම වැඩි කර ගැනීමේ වගකීම මේ ක්ෂේත්‍රයේ නියුතු ඔබට භාරයි”










