එයාර්පෝට් එකට එහා අහසෙ වැහි වලාකුළු රංචුවක් කල්ලි ගැහිලා. එහෙං මෙහෙං එබි එබී උන්න ඉර ඒ අස්සෙ මූණ හංග ගත්තා. අහසෙ රවුමට ඉගිළෙන කුරුලු අහිනක් ඈතට ඈතට ගිහිල්ලා නොපෙනී ගියා. Sri Lanka Latest News
එක පාරගම කෑගහගෙන ආපු යෝධ කුරුල්ලෙක් එයාර්පෝට් අස්සට පාත් වුණා. ඒ කුරුල්ලගෙ ඇඟේ තිබුණු ළා නිල් පාට රටාව මම හුඟාක් ළඟින් දැක්කා. ඒ සද්දෙටද කොහෙද ඉර ඔළුව උස්සලා බැලුවා. මම නයි කන්දෙ වාහනේ නතර කරගෙන බලාගෙන හිටියෙ ඇන්ජලෝ එනකල්….
පාරෙ වැල නොකඩී පාට පාට වාහන. ඒවායෙ වැඩිහරියක ඉන්නෙ දවසෙ වැඩ නිමකරපු වෙහෙසකර මිනිස්සු. මේ මිනිස්සු තව ටික වෙලාවකින් තමන්ගෙ ගෙවල් අස්සට රිංගගෙන වතුර මල් යට විඩා නිවනවා. ඊට පස්සෙ උණු කෝපි කෝප්පයක් එක්ක ටිකක් වෙලා හුරතල් වෙලා ආයෙත් ජීවිතේ පටන් ගන්නවා. ඒ අස්සෙ කෙඳිරිගාගෙන කන්ද නගින බස් එකක් ඩූම්ම චාලේ හෝන් එක ගැහුවා. ඒකෙ හිටියෙ කොල්ලො කෙල්ලො රෑනක්. උන් කැපිච්ච පණුවො වගේ දඟලනවා.
‘ටි්‍රප් එකක්…’ මම මටම කියාගත්තා.
ජීවිතෙත් ටි්‍රප් එකක්. සමහරු තමන්ගෙ වාහනවල යනවා. සමහරු අනුන්ගෙ වාහනවල යනවා. සමහරු කෝචියෙ යනවා. සමහරු ප්ලේන් එකේ යනවා. සමහරු සැප හෝටල්වල නවතිනවා. සමහරු පොඩි පැල්පත්වල නවතිනවා. සමහරු අවුරුදු පහෙන් හයෙන් හතෙන් අටෙන් ඉන්න තැන් මාරු කරගන්නවා. සමහරු සැප වැඩි කරගන්නවා, සමහරු අඩු කරගන්නවා. සමහරු ඉක්මනින් ටි්‍රප් එක ඉවර කරගන්නවා. සමහරු හුඟාක් කල් ඇවිදිනවා. සමහරු විඩාබර දෙපා පිරිමදින අතරෙ සමහරු ඇඟ හදාගන්න දුවනවා. ලාභ පාඩු මොනවා වුණත් ආව හැමෝටම යන්නම වෙනවා. මේ ටි්‍රප් එකේ ක්‍රමය ඒකයි.
නයි කන්දෙ නැවතිලා හිටපු මට ඇන්ජලෝගෙ ඇමතුම එනකොට පහයි තිහයි. ඇනජලෝ කියන්නෙ ව්‍යාපාරික වුවමනාවක් නිසා මුණගැහුණු ප්‍රියමනාප තරුණයෙක්. දැවැන්ත ව්‍යාපාරිකයෙක්. හරිම සංවිධානශීලී කෙනෙක්. විනාඩි දහයක් පහළොවක් පරක්කු වුණත් සමාව දෙන්න පුළුවන් හාදයෙක්. මේ සියල්ලටම වඩා තමන්ගෙ ඇදහීම තමන්ටත් ඇදහීමටත් අවංකව කරන කෙනෙක්.
නෝනාවරුනි මහත්වරුනි මම මේ යන්නෙ මිරකල් ඩෝම් එකට ඇතුළු වෙන්න. ඒක වෙන්නෙ මෙහෙමයි. අපි දේවගැති ජෙරොම් ගැන පළමු ලිපිය ලියන්නෙ කිසිම දැනුමක් නැතිව. පස්සෙ අපි ඔහු සහ ඔහු කී දේ ගැන හොයනවා. ඒ හොයන අතරෙ අපිට හිතුණු දේ තමයි මේ. පත්තරකාරයෙක් විදියට අවුරුදු ගානක් තිස්සෙ මම බොහෝ දේ හොයමින් ඇවිද ගිය හැටි ඔබට මතක ඇති. අපි දෙවියන් හොයාගෙන යාල මහ කැලේට ගියා. අපි දෙවියන් හොයාගෙන මහ මුහුද දිගේ බත්තලංගුණ්ඩුවට ගියා. ඒ අස්සෙ ඉවර නොවෙන ගමනක කච්චතිව් ගියා. පිටකොටුවෙ ජනාකීර්ණ වීදි පහුකරලා රතු පල්ලියටත් ගියා. ජාති ආගම් කුල භේද නැතුව අපිට දෙවියන් මුණගැහුණා. රූප, පින්තූර, කවි, කතා, ස්තෝත්‍ර, ඇදහිලි, යාතිකා, පිදවිලි, මල් බුලත් තට්‍ටු, ගොටු, පූජා වට්ටි, පඬුරු පාක්කුඩං මේ හැම දේම අස්සෙ දෙවියො වැඩහිටියා. විවිධ විවිධ වර්ණයෙන් සැරසිලා විවිධ පන්නයේ වැඳුම් පිදුම් කරන හැටි මම දැක්කා.
මේ වතාවෙ මම ආවෙ ඒ විදියෙම ඇදහිල්ලක් හොයාගෙන. ඒ මගේ මිත්‍රයගෙ භක්තිමත් ඇදහිල්ල. අපි කවුරුත් අහලා තියෙන දේවගැති ජෙරොම්ගෙ මිරකල් ඩෝම් එක. අඳුරෙ අතපත ගාමින් කරන විවේචන හෝ පැසසුම් වෙනුවට ඇත්තටම වෙන්නෙ මොකක්ද කියලා බලන්න ඕනෙ කියලා හිතුණු නිසා අපි මේ වැඩේ පටන් ගත්තා.
මේ ලියන්නෙ ඇස සහ කන මට ලියන්න කී දේ විතරයි. මම බුද්ධිය සහ මගේ මතය, මගේ ඇදහීම් කාර් එකට දාලා ලොක් කළා. මම ඊට පස්සෙ නිදහස් වුණු පංචේන්ද්‍රියන් අරං එළියට ආවා.
අපි ඇවිද්දා. විවිධ වර්ණ මිනිස්සු අතර අපි ඇවිද්දා. ඔවුන් ඉතාම සුන්දර සහ මිල අධික ඇඳුම් ආයිත්තම් ඇඳ උන්නා. ඒ අය ඉතා ප්‍රියමනාප ලෙස හිනා වුණා. ඒ නේක වර්ණ ඇඳුම් ආයිත්තම් අතරෙ මම මොකක් ද මන්දා සමානකමක් දැක්කා.
සියදහස් ගණන් දෙනා යන එන මිරකල් ඩෝම් එක වටේටම වාහන නතර කරලා තියෙනවා. ඒ වගේම වහනවලට පුළුවන්කම තියෙනවා ඇතුළට ඇවිල්ලා තමන්ගේ වාහනේ ආපු අමුත්තන්ව අදාළ පරිසරයෙන් බස්සලා පිටවෙලා යාමට.
වාහනවල විවිධ මට්ටම්වල විවිධ තරාතිරම්වල අය පැමිණෙන විදිය මම දැක්කා. ඒ අතරේ මෙතැනට යනෙන රෝගී වුණු අය අපිට නිතරම වගේ මුණ ගැහෙනවා. එයාගේ පහසුව සඳහා හදපු සුවිශේෂ වැඩපිළිවෙළක් මේ පරිශ්‍රයේ තියෙනවා. ඒ වගේම අපි දැක්කා ඉතාම ඉහළ විනයක් සහිත සුවිශේෂ ආරක්ෂක පිරිසක් මේ ස්ථානයේ ඉන්න බව. ඒ අය ඉතාම ක්‍රමවත්ව පැමිණෙන පිරිස සහ වාහන මෙහෙයවනවා. ඒ වගේම මෙතැනට මෙච්චර ආරක්ෂාවක් දීලා තියෙන්නේ ඇයි කියලා නම් මට ප්‍රශ්නයක්. දැන් ලංකාවේ යුද්ධයකුත් නෑනේ. යුද්ධයක් නැති රටකට මෙච්චර ආරක්ෂාවක් ඕනෙද? ඒ වගේම මේක ආගමික මධ්‍යස්ථානයක් නේ. මෙතැන තියෙනවා වටිනා කියන කිසිදෙයක් හොරුන්ට ගන්න බෑ. එහෙමනම් මොකටද මේ මෙච්චර ආරක්ෂාවක් දීලා තියෙන්නේ?
ඒකට එක උත්තරයක් මට හම්බවුණා. ඒ තමයි මේ ස්ථානයට නිතරම එනව ජාත්‍යන්තර අමුත්තන්. ඒ අයට අවශ්‍යයි ආරක්ෂිත වටපිටාවක්. සමහර විට ඒ කාරණය නිසා වෙන්න ඇති ඉතින් මිරිකල් ඩෝම් එකට මෙච්චර ආරක්ෂාව දීලා තියෙන්නේ. කොහොම වුණත් මේ ස්ථානයට පැමිණෙන අයට අවශ්‍ය කරන ආහාර පාන මිලට ගැනීමේ ස්ථානයක් වෙනමම සකස් කරලා තියෙනවා. මේ ස්ථානයේ තේ කෝපි වගේම විවිධ ආහාර වර්ග මිලට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇති ආයතන කීපයකටම අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක බොහෝ විට ව්‍යාපාරික වුවමනාවක් මත පදනම් වෙච්ච හැබැයි මේ ස්ථානයට පැමිණෙන අයට ඒ අයගේ අවශ්‍යතාව උවමනා ඉෂ්ට කරගැනීමට සූදානම් වුණු දෙයක් බවයි දැනුණේ. ඇත්තටම ටික වෙලාවකින් මේ ස්ථානයට ඇතුළු වෙන අමුත්තන්ට පැය ගණනක් ගතකරන්න සිද්ධ වෙනවා. එහෙම පැය ගණනක් ගතකරන්න අවශ්‍ය කරන වතුර බෝතලය පවා මිලට ගැනීමේ හැකියාව සකස් වෙලා තියෙනවා.
ඇත්තටම මේ වටපිටාව ගැන මහලොකුවට දේවල් කියන්න දෙයක් නැහැ. අදාළ ගෘහ නිර්මාණ ශිල්පය ගැන නම් වෙනමම කතා කරන්න ඕනේ. ඒත් තවම මට ඒකට අවස්ථාව උදාවුණේ නෑ. මට දැනුණු විදිහට මිරකල් ඩෝම් එකට ඇතුළු වෙන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා.
පළමු ක්‍රමය වෙන්නේ මිරකල් ඩෝම් එක හොඳට පුරුදු අයට තියෙන සාමාන්‍ය පිවිසුම. ඇතුළේ හැම කෙනෙක්ම පූර්ණ පරීක්ෂාවකින් පස්සේ ඇතුළට ගන්නේ. එතැනදි නම් මට ආයෙත් මතක් වුණේ යුද්ධ කාලේ. එක එක කොටස් වෙන වෙනම අතගාලා බලන ආරක්ෂක නිලධාරී මහත්වරු ප්‍රධාන දොරකඩදී අපිට මුණගැහෙනවා. කාන්තා සහ පිරිමින්ට වෙනම පිවිසුම් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඇතුළු වෙන උදවිය මිරකල් ඩෝම් එකට ඇතුළු වෙලා ඉවරයි. ඒ ස්ථානයට ඇතුළු වන ජාත්‍යන්තර අමුත්තන්ට විශේෂ ලියාපදිංචි වීමේ ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ තියෙනවා තමන්ගේ රටේ කොඩිය ලබාගැනීමේ හැකියාව. දැන් මේ ස්ථානයට ඇතුළු වන මේ අමුත්තෝ තමන්ගේ රටේ කොඩියත් අරගෙන ප්‍රධාන ශාලාවට ඇතුළු වෙනවා. මිරිකල් ඩෝම් එකට පැමිණෙන, මෙතැනට ඇවිල්ලා හොඳට පුරුද්ද තියෙන අය සතුටු සාමීචි කතා කරනවා. ඒ අය සාමාන්‍යයෙන් සතියකට දෙවරක් විතර මුණගැහෙන අය කියලයි මට හිතුණේ. මේ අතර ඉන්නවා විවිධ ව්‍යාපාරිකයෝ. විවිධ කලාකාරයෝ. විවිධාකාරයේ රැකියාවල නියුක්ත වෙලා ඉන්න අය. සමහර අය රටේම ප්‍රසිද්ධ උදවිය. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපාරික ඒකාධිකාරයක් හිමිකරගෙන ඉන්න අය. බොහොම සාමාන්‍ය පුද්ගලයෝ. විශ්‍රාමිකයෝ. බොහොම තරුණ උදවිය. මේ දෙතුන්ගොල්ලන්ට මුණගැහිලා කතා කරන්න ලැබෙන විනාඩි කිහිපය ඒ ඒ අයට පවා බොහොම ප්‍රයෝජනවත් කියලයි මට මගේ දැනුම හැටියට හිතුණේ. මම දන්නෙ නෑ ඒගොල්ලෝ මේ වගේ තැනක මුණගැහිලා ව්‍යාපාරික කාරණා කතාකරන්නේ නැද්ද කියලා. මම දන්නෙ නෑ විශ්‍රාමිකයෝ තරුණ අයට තමන්ගේ අත්දැකීම් මේ ස්ථානයේදී බෙදා දෙන්නේ නැද්ද කියලා. අඩුම තරමේ තම තමන්ට දුරකතන අංකයක්වත් හුවමාරු කරගැනීමේ හැකියාව නම් මේ ස්ථානයේදී ලැබෙන බව මට බොහොම විශ්වාසයි. මම හිතන්නේ රට පුරා පැතිරිච්ච විවිධ තරාතිරම්වල උදවියට මේ වගේ එක තැනක මුණගැහිලා අඩුම තරමේ විනාඩියක් දෙකක්වත් කතාබහ කරන්න පුළුවන් නම් ඒක හුඟාක් හොඳ දෙයක් කියලා.
ඒ වගේම තවත් තියෙනවා විශේෂ පිවිසුම් දෙකක්. එකක් තමයි නිව්කමර්ස්ලාගේ පිවිසුම. ඒ කියන්නේ මිරකල් ඩෝම් එකට අලුතෙන්ම පිවිසෙන අය පැමිණෙන තැන. ඒ අයව විශේෂයෙන් ලියාපදිංචි කරනවා. ඒ ලියාපදිංචි කරන හැම කෙනකුටම ලැබෙනවා තැඹිලි පාට බෑන්ඩ් එකක්. ඒ වගේම තව සැමරුම් කීපයක් එතැන තියෙනවා. මේ ස්ථානයේ තියෙනවා විවිධ ආගමික පුස්තක මිලදී ගැනීමේ හැකියාව. ඒ වගේම අපි දැක්කා දේවගැති ජෙරොම් විසින් රචනා කරන ලද පොත් කිහිපයකුත් මේ ස්ථානයේ තියෙනවා. ඒ පොත් ගැන මම වෙන දවසක කතාකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක වෙනමම මාතෘකාවක් හින්දා. මෙතැනට අලුතෙන් පැමිණෙන අයට විශේෂ මග පෙන්වීමක් අවශ්‍යයි. ඒගොල්ලෝ මිරකල් ඩෝම් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසාම වෙන්න ඇති එයට විශේෂ වැඩපිළිවෙළක් යටතේ මගපෙන්වීමක් සිද්ධ වෙන්නේ.
දැක්කා අතිශය ප්‍රියමනාප පිරිසක්. ඒ අය තමයි මේ අලුතෙන් පැමිණෙන අයට උදව් කරන්නේ. ඉතාම ප්‍රියමනාප සිනහවක් සහිත බොහොම ලස්සන ඇඳුම් ආයිත්තන්වලින් සැරසිච්ච ජේත්තුකාර පිරිසක් තමයි මේ ස්ථානයේ ඉන්නේ. යම්කිසි කෙනෙක් මිරකල් ඩෝම් එකට අලුතින් එනව නම් ඇතුළු වෙන්න තියෙන්නේ මෙන්න මේ දොරටුවෙන්.
වැදගත්ම දොරටුව මේ දෙකම නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒ තමයි විවිධ රෝගාබාධ සහිත අයට ඇතුළු වීම සඳහා තියෙන දොරටුවක්. එතැන විශේෂයෙන්ම රෝද පුටුවලින් පැමිණෙන අයට පවා ඇතුළු වීම සඳහා ක්‍රමවේද හදලා තියෙනවා. එතැන මේ අනිත් තැන් දෙකේ වගේ ලොකු තදබදයක් නෑ. කොයි තරම් දෙනෙක් මේ ස්ථානයට ඇතුළු වුණත් කලබලයක් තදබදයක් ඇති නොවෙන විදිහට ලොකු වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ ස්ථානයෙත් සුපුරුදු පරිදි ආරක්ෂකයෝ ඉන්නවා.
ඒත් මම දැක්කේ නැහැ ඔවුන් එතන තදබදයක් හෝ කලබලයක් ඇති කරන ආකාරය. ඒ වගේ මේ ස්ථානයේ ඉන්නවා වෛද්‍යවරු කීපදෙනෙක්.
මේ වෛද්‍යවරුන් විසින් පැමිණෙන අසාධ්‍ය රෝගී තත්ත්වයන්වල ඉන්න නැගිටින්න බැරි බොහෝ දෙනෙක්ව ඒ ස්ථානයේදීම පරීක්ෂා කරනවා. එයාගේ රෝග තත්ත්වයන් පිළිබඳ, රෝග නිධානයන් පිළිබඳ විශේෂයෙන් පරීක්ෂා කරනවා. විවිධ රෝග තත්ත්වයන්ට අදාළ සුළු පරිමාණ පරීක්ෂණයන් ඒ ස්ථානයේ සිද්ධ වෙනවා. ඒ විදිහට පරීක්ෂා කරන අයව ලොකු දුරක් නැතිව කෙටි දොරටුවකින් මිරකල් ඩෝම් එකට ඇතුළු කරනවා.
මිරකල් ඩෝම් එකේ තියෙන සුවිශේෂ කුටියකට පිවිසෙන්නෙ ඊ ළඟට. මාව ඇන්ජලෝ එක්ක ගියා ඒ කොටසට.
මිරකල් ඩෝම් එක ගැන මම අහලා තියෙන හුඟාක් කතා අතරෙ මේ වගේ දෙයක්?
මට හිතුණෙ එහෙම. ඒක ඔබටත් එහෙමම හිතෙයි ද දන්නෙ නෑ. බලා ඉන්න ලබන සතිය වෙනකල්. ඔබට ඒ ගැන හිතෙන්නෙ මොකක් ද කියන්න.
ඔවුන්ගේ හැම මුද්‍රණයකම සහ වීඩියෝවකම වගේ දුරකතන අංකයක් දිගින් දිගට දිස්වුණා. ඒ නිසා මගෙත් එක්ක තර්ක කරන්න එන්න එපා. මං දකින දේයි ලියන්නේ. ඕනෙ දෙයක් ඒගොල්ලන්ගෙන්ම අහන්න 0117774877

ජීවන පහන් තිළිණ










