ශ්‍රී ලංකාව කියලා කියන්නේ සංචාරක කර්මාන්තයෙන් හම්බකරගෙන කන රටක්. හැබැයි ලකාවට එන සුද්දව විකුණලා උගේ දත් ගලවලා රීරි මාංසෙ හූරා කාලා ඒක ව්‍යාපාරයක් කියලා හිතාගෙන බාල විදියට වැඩ කරන හුඟදෙනෙක් ලංකාවේ ඉන්නවා. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ වුණු බොහෝ තැන්වලට අරක්ගත්තඅය තමන්ට ඕනෙ ඕනෙ විදියට මේ ව්‍යාපාරය තමන්ගේ හැඩේට හදාගෙන 100ට 50ට 60ට 70ට දෙන්න පුළුවන් එක 10000ට 15000ට අලෙවි කරලා විවිධාකාරයේ උපක්‍රම හරහා හම්බකරන නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය විනාශ වෙන්න මේවා බලපාලා තියෙනවා. අපි හොඳටම දන්නවා කිසිම වෙලාවක මේ උපක්‍රමවලට සුද්දොවත් වෙනත් සංචාරකයොවත් රැවටෙන්නේ නෑ කියලා. ඒත් රවටන්න පුළුවන් කියලා හිතාගෙන කරන කියන වැඩවලින් කෙළවෙන්නේ රටක් විදියට අපිට. මේ කියන්නට යන දුම්රිය කතන්දරෙත් එහෙම තමයි. Sri Lanka Latest News
දුම්රිය සේවාවන් කලින් වෙන්කර ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීලා තියෙනවා. ලෝකේ හුඟක් රටවල මේ ක්‍රමවේදය භාවිත වෙනවා. ශ්‍රී ලංකාවෙත් ඒක ඒ විදියටම සිද්ධ වෙනවා. අපි දන්නවා ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත වගේම ඉතා ප්‍රසිද්ධ ඉතා විසිතුරු දුම්රිය මාර්ග කීපයක් ගැන අපි කතාකරනවා. ඉන් එකක් තමයි ඇල්ල පාර. අනිත් එක තමයි බදුල්ල පාර. ඇල්ල පාරත් බදුල්ල පාරටත් අමතරව තවත් දුම්රිය මාර්ග තියෙනවා. ඇල්ල දුම්රිය මාර්ගය, දුම්රිය මාර්ගය මේ සියලු දුම්රිය මාර්ගවල සංචාරය කරන්න අපේ රටේ ඉන්න අය වගේම විදේශිකයොත් හරි කැමැතියි. අපි දන්නවා දුම්රිය සේවාවන් කලින් වෙන්කර ගැනීමේ හැකියාව තියෙන්නේ හරියටම මාසෙකට කලින්. උදාහරණයක් විදියට ගත්තොත් පෙබරවාරි මාසේ 14 වැනිදාට දුම්රිය සේවාව වෙන්කර ගැනීමට ඉඩ විවෘත වෙන්නේ ජනවාරි මාසේ 14 වැනිදාට. මේ වැඩේ හොඳටම අවුල් වෙලා පෙබරවාරි 14 වැනිදාට නියමිත දුම්රිය ප්‍රවේශපත් ජනවාරි 14 වැනිදා එළිවෙනකොටම අතුරුදන් වෙලා ගිහිල්ලා. අදාළ දුම්රියේ තියෙන සියලු ආසන කලින් වෙන්කරගෙන ඉවරයි. සමහර වෙලාවට පාන්දර 4 වෙද්දීත් මේවා වෙන්කරගෙන අවසන් බව අපි විවිධ අවස්ථාවල දැකලා තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙක් හිතනකොට පර්යේෂණ කරනකොට, හොයනකොට ඔන්න බඩුත් එක්කම හොරු පහුගිය දවසක අහුවුණා. මේ කියන්න යන්නේ ඒ ගැන.
අපි මුලින්ම දැක්කේ ඇල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ටිකට්පත් හදිසියේ අතුරුදන් වීම. අපි හොඳටම දන්නවා ලංකාවේ දුම්රිය මාර්ග කීපයක් ගැන කතාකරද්දී ප්‍රධානම සංචාරක ආකර්ෂණය දිනාගන්නා දුම්රිය මාර්ග අතරින් එකක් තමයි මේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිත දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගයේ ටිකට්පත් වැඩි වශයෙන් අලෙවි වෙන්නේ සංචාරකයන් සඳහා. මේ ගැන හොයලා බලද්දී අපට දැනගන්න ලැබුණා සාමාන්‍යයෙන් මේ දුම්රිය මාර්ගයේ ටිකට් පතක මිල 1000%කින් 1500%කින් විතර වැඩි කරලා අලෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් තියෙනවා කියලා. ඒ පිටිපස්සේ ඉන්නෙ කවුද කියන එකත් මේ වෙද්දී හෙළිවෙලා අවසානයි. මේ ව්‍යාපාරය කෙනෙක් තනිවම කරපු දෙයක් නොවන බව අපි හොඳාකාරවම දන්නවා. ඒ සඳහා විශාල පිරිසකගේ දායකත්වය, අනුග්‍රහය ලැබෙන්න ඇති බව විශ්වාසයෙන්ම අපිට කියන්න පුළුවන්.
මේ විදියට යම් කිසි කෙනෙක් යම් කිසිවක් කූට ලෙස සිදුකරනකොට ඒ ගැන නොදන්නා සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා ඔවුන්ට වියදම් කරන්න පුළුවන් සල්ලි ටික කෝච්චි ටිකට් එකට වියදම් කරලා ඉතා අප්‍රසන්න හැඟීමකින් තමයි රටෙන් පිටවෙලා යන්නේ. ඒ වගේම මේ බ්ලැක් මාර්කට් එකේ වෙන කොහේ හරි හංගලා රහසින් විකුණන දෙයක් බවට දුම්රිය ටිකට් එක පත්වුණාම මිනිස්සුන්ට මේකේ යනඑන එක පවා ඉතා අසීරු දෙයක් බවට පත්වෙලා තියෙනවා. මේකට වගකියන්න ඕනේ 100%ක් දුම්රිය දෙපාර්තමේන්තුව. මොකද දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේ ඉන්න අයට උපක්‍රමශීලීව මිලදී ගන්න පුළුවන් විදියට මේවා පාවිච්චි වුණාට අපි හොඳටම දන්නවා සාමාන්‍ය කෙනකුට මේ දුම්රිය ටිකට්පතක් මිලදී ගන්න එක කොච්චර අපහසු වැඩක්ද කියන එක. ඇතැම් වෙලාවට එක එක්කෙනාගේ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ. පුද්ගලයෝ කීදෙනෙක්ද, ඒ කවුද කියන එක ඔප්පු කරන්න ඕනේ.
දුම්රිය සේවය කියලා කියන්නේ ලෝකේ අනෙක් රටවල හරිම ගුණාත්මක සහ විනිවිදභාවයකින් යුත්, පහසුවෙන් තමන්ට උපයෝගී කරගන්න පුළුවන් සේවාවක්. හැබැයි ලංකාවේ එහෙම නෑ, මේ විදියට ඇල්ලේ ටිකට් එක ගැන ප්‍රශ්නය ඇදිලා ඒ සම්බන්ධව සාකච්ඡා වෙලා ටික දවසක් යද්දී ආයෙමත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ තමයි බදුලු දුම්රිය මාර්ගයේ ප්‍රශ්නය. බදුලු දුම්රිය මාර්ගයෙත් මේ විදියටම මේ වැඩේ කරනවා කියලා දැන් අහුවෙලා තියෙනවා. හැබැයි කරන්නේ කවුද කියලා තාමත් හෙළිවෙලා නෑ.
මේ විදියට මේ දේවල් සිදුවෙනවා නම් හැරෙන තැපෑලෙන්ම මේ වැඩ නවත්තලා ඊළඟට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ලංකාවේ දුම්රිය සේවයට අදාළ නිලධාරීන් උනන්දු නොවුණොත් මේ දුම්රිය සේවය සම්බන්ධයෙන් බලධාරීන් ඉතා විධිමත් සහ කාර්යක්ෂම කඩිනම් පියවරක් ගත යුතුයි. අපි දන්නවා දුම්රියේ ඉන්නේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු ඇතැම් වෙලාවට. මොකද ඒගොල්ලෝ මහජනතාවත් එක්කගෙන උදේ කොළඹට ගිහින් ඇරලලා හවසට ස්ට්‍රයික් කරනවා. මිනිස්සු මැරුණත් කමක් නෑ කියලා තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් විශාල වශයෙන් සටන් කරනවා. එහෙම සටන් කරන ගමන් මෙහෙම හොර වැඩ තක්කඩි වැඩත් කරනවා නම් මේ මිනිස්සුන්ව අල්ලගෙන ඇවිල්ලා ස්ටේෂන් ඉස්සරහා හෙලුවෙන් බැඳලා තියන්න ඕනේ යන මිනිස්සුන්ට ගල ගල ගහගෙන යන්න. ඒකට හේතුව මේ විනාශ කරන්නේ අපිට හම්බකරගෙන කන්න තියෙන එකම එක දේ. මොකද ලෝකය ඉස්සරහා අපිට පෙන්නන්න, විකුණන්න, කීයක් හරි හොයාගන්න වෙන කිසිම දෙයක් නෑ. තියෙන්නේ මෙන්න මේ ටුවරිසම් කියන එක විතරයි. දැන් ඒකත් එක එකාගේ කූට උපක්‍රමවලට ජඩ වැඩවලට පාවිච්චි කරන්න ගත්තොත් මේ රටට හෙට වෙන දේ හිතාගන්න බෑ. ඒකට අලුත් ජනාධිපතිලා පත්කරලා, අලුත් ආණ්ඩු හදලා, අලුත් පාලකයෝ පත්කළාට විතරක් වැඩක් වෙන්නේ නෑ.
මේ පාලකයන්ට මේ රට කරගෙන යන්න උදව් වෙන්න ඕනේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට රටේ ජනාධිපති වෙච්ච පලියට මේ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. එතුමා සර්වබලධාරී දෙවියෙක් නෙවෙයිනේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය දෙන්න. ඒගොල්ලන්ට අවශ්‍ය කරන උදව් ටික කරලා දෙන්න. එහෙම නැතුව ඡන්දේ දීලා අපේ ආණ්ඩුව කියලා පුළුවන් තරම් ජඩ වැඩ හොර වැඩ තක්කඩි වැඩ කරන්න ගත්තොත් මේ රට හදන්න නෙවෙයි වෙන්නේ. සිතියමෙන් අයින් කරන්න.

ජීවන පහන් තිළිණ










